සංචාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර සිවුවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ඉනිමක හා ලකුණු 25ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, ඒ සමග තරගාවලිය තරග 3-1ක් ලෙස ජය ගැනීමට ඔවුන්ට හැකිවිය. මෙම ජයග්‍රහණයත් සමග අයි.සී.සී. ටෙස්ට් ලෝක ශුරතාවේ නවසීලන්තයට එරෙහිව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාවට අවස්ථාව උදාවිය.
අහමදාබාද්හි පැවැති මෙම තරගය දින තුනක් තුළ අවසන් වීම සුවිශේෂී විය. එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 205/10ක් රැස් කිරීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස ලකුණු 365/10ක් සිය පළමු ඉනිමට රැස් කිරීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව ලකුණු 160ක් පසු පසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට එංගලන්තයට සිදු වූ අතර,එහිදී ඔවුන් රැස්කළේ ලකුණු 135ක් පමණි. ඒ අනුව ඉනිමක හා ලකුණු 25ක පරාජයක් අත්විඳීමට සංචාරක එංගලත්ත කණ්ඩායමට සිදුවිය. තරගයේ වීරයා ලෙස ලකුණු 101ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ඔසවා තැබූ රිෂාබ් පාන්ට් සම්මාන දිනා ගත්තේය.
තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ රවිචන්ද්‍රන් අශ්වින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය. ඔහු කඩුලු 32ක් හා ශතකයක් (106) සමගින් ලකුණු 189ක් රැස් කිරීමටද සමත් විය.ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැති තරග 04කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය ඉන්දියාව, එංගලන්තය මෙන්ම ඕස්ටේලියාව යන රටවල් තුනෙන් අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තේරී පත්වීමට නියමිතව තිබුණි. එහිදී ඉන්දියාව අවම වශයෙන් තරග දෙකක් හෝ ඊට වැඩියෙන්ද, එංගලන්තයට අවම වශයෙන් තරඟ තුනක් ලෙසද ජයගෙන අවසන් සටනට සුදුසුකම් ලැබීමට අවස්ථාව තිබුණි. කෙසේ නමුත් මෙම තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වූවා නම් ඔස්ටේ්රලියාවට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව තිබුණි.
(විශ්ව මුදියන්සේ)
0 Comments