jaffna-baby-incident

සිය මවගෙන් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව යාපනය රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන මාස 09 ක් පමණ වයසැති සිගිති දරුවා දරුකමට හදාවඩා ගැනීමට ඉල්ලීම් කරමින් මෙරට සහ විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකික මවුපියන්ගෙන් යාපනය මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ ජංගම දුරකතනයට මේ වන විට ඇමතුම හා කෙටි පණිවුඩ සියයකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.  

වාසනාවන්ත හුරුබුහුටි දරු පැටවකු බව කියමින් මෙම ඉල්ලීමිකර ඇත්තේ දරුවන් නොමැති මවුපියන් බවද කියති.

ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ ජංගම දුරකතනයට වැඩිම ඉල්ලීම ප්‍රමාණයක් ලැබී ඇති බව කියන්නේ යුරෝපීය රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ බවද පැවසේ.  දරුවකු දරුකමට හදාවඩා ගැනීමට කටයුතු කළ යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පොලිස් පරික්ෂකවරයා දුරකතන ඇමතුම් දුන් හා කෙටි පණිවිඩ එවූ සැමට පැහැදිලිකර දී ඇත. මවගේ අමානුෂික කෝටු ප්‍රහාරයකට ලක් වූ බව කියන දරුපැටවා මුදාගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරින්ට සිය ප්‍රසාදය පළකරමින්  කැනඩාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකික අඹු සැමි යුවළක් යාපනය මූලස්ථාන පොලිස්  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් ප්‍රනාන්දු මහතාට මල් කළඹක් එවා තිබේ.



කැනඩාවේ පදිංචිව සිටින මෙම ද්‍රවිඩ ජාතික අඹුසැමි යුවළ යාපනයේ පදිංචි සොහොයුරා මගින් මෙම මල් කලඹ පොලිස්  ස්ථානාධිපතිවරයාට පෙරේදා පිරිනමා ඇත.  මේ අතර යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දරුවාගේ ආරක්ෂාවට පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු යොදවා තිබෙන බවද පොලිසිය කීය.  ප්‍රතිකාරවලින් පසුව සිගිත්තා පරිවාස බාරයට පත්කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-