යාපනය දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (29දා) දින සිට
සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත්
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්. ඉලංකෝවන් මහතා පැවැසීය.



යාපනය නගරයේ මේ වන විට දෛනිකව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ අගයක් ගැනීම හේතුවෙන්
යාපනය දිසාපතිතුමන් ඇතුළු කොරෝනා මර්දන කමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන ලද
ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවද එම්. ඉලංකෝවන් මහතා පැවැසීය.

මේ වන විට යාපනය නගර මධ්‍ය සම්පූර්ණයෙන් වසා සංචරණ සීමා පනවා ඇති අතර නගරයේ කොරෝනා
ආසාදිතයන් සමීපව ඇසුරු කරන්නන් යාපනය දිස්ත්‍රික්කය පුරා  තහවුරු වීමත් හේතුවෙන් පාසල් ළමයින්ගේ
ආරක්‍ෂාව උදෙසා මෙලෙස යාපනය කලාපය තුළ පිහිටි සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇත.

මේ අනුව සතියක කාලය පුරා සියලුම පාසල් ළමයින් පූර්ණ සෞඛ්‍ය ආරක්‍ෂිතව නිවෙස්වලට වී සිටින
ලෙසටත් පාසල් ළමයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මවුපියන්ද වගකීමෙන් කටයුතු කරන ලෙසටත් යාපනය
සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීහු ඉල්ලා සිටිති.


මුලතිව් - ශෂි කුමාර්,වවුනියාව - එන්. ප්‍රියදර්ශනී, වවුනියාව - රසාදි චතුරංගි ගමගේ