රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගත්තේ පළාත් සභා ඡන්දය ළඟ එන නිසා නොවන බවත්, වත්මන් ආණ්ඩුව කිසිම විටක නීතියට ඇඟිලි නොගසන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසිය.කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාරියාලයේදී ඊයේ (18)දා පැවැත්විණ.
කෘෂිකර්ම, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් සංවර්ධන සහ මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන කටුයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරුණි.එමෙන්ම 2021 වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන් සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කර ඒවා අනුමත කරගැනීමද මෙහිදී සිදුවිය.
එළඹෙන සිංහල අවුරුද්දට පෙර පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විදුලිය නොමැති පවුල් 603 ක් සඳහා විදුලිය ලබාදීමට මෙහිදී තීරණය විය.
Home Shop ව්‍යාපෘතිය සඳහා පාට පක්ෂ ජාති භේදයකින්. තොරව සුදුසුම පුද්ගලයාව මේ සඳහා තෝරා ගැනීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත වනජීවී කලාප තුළ ජීවත් වන ඉඩම් ඔප්පු නොමැති ගම්වැසියන්ට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී අමාත්‍යංශයේ අධීක්ෂණය මත නිරවුල් ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමට උපදෙස් ලබාදුය.එහිදී මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා, "පසුගිය කාලයේ හදිසියේ දැකපු නැති විරෝධතාවක් මේ සංවර්ධනය හරහා අපි දකිනවා. පසුගිය අවුරුදු 10දීම අපි දැක්ක නැහැ. පාරක් හදන්න ගියාම ඒකට විරෝධය ප්‍රකාශ කරනවා. ඒ වගේම පාරට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න හැදුවම ඒකට විරෝධය ප්‍රකාශ කරනවා. මම දකින්නේ ආණ්ඩුවේ සංවර්ධනය නතර කරන්න මේ පිටුපස කවුරු හරි ඉන්නවා කියලා. ඒවගේම අපි දකිනවා තමන්ගේ පෞද්ගලික ඉඩමකවත් ගොඩනැගිල්ලක් හදන්න බැරි විදියෙ වනන්තරයක් ක්‍රියාත්මක වෙනව කියලා. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා මේව ගැන හොයන්න ඕන. කවුද මේ පිටුපස්සේ ඉන්නේ කියලා. එන්. ජී.ඕ.වලට එන සල්ලි ගැන බලන්න ඕන. කොහෙන්ද ඒ මුදල් එන්නෙ කාටද ඒ මුදල් යන්නෙ කියලා රජයක් හැටියට මේ ගැන සොයා බැලිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මෙය සොයා බැලිය යුතුයි කියන තැන ඉඳල රජය කටයුතු කරනවා.
පළාත් සභා ඡන්දය ළග එන නිසා රවී කරුණානායක ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තා කියලා කියන එක සම්පුර්ණ බොරුවක්. අපේ ආණ්ඩුව කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. විපක්ෂය කිව්වෙ බැඳුම්කර හොරු ඉන්නවා දඬුවම් කරන්නේ නැහැ කියලා. නමුත් ඒක නීත්‍යනුකූලව නීතියට ඉඩ දීලා නීති රාමුවේ ඉන්න නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ඉඩ දීල තියෙන්නෙ. මේ කලබලයට ගිහිල්ල දේශපාලනඥයො හවුල් නිසා දේශපාලනඥයෙක පිටුපස හබා යන ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ඉන්න ආණ්ඩුවක් නෙවෙයි අපේ ආණ්ඩුව. ඒ නිසා තමා අපි චෝදනාවට ලක්වෙන්නේ. මේක තමයි වෙනස, මේ වෙනස රටේ ජනතාව බලාපොරොත්තු වුණා. රිෂාඩ් බදියුදීන්ට අත්අඩංගුවට ගත්තා. එතකොට ප්‍රේමදාස මහත්තය කිව්වේ.දේශපාලන පලිගැනීම් කියලා. පාර්ලිමේන්තුව ඇතුළෙ ප්‍රේමදාස මහත්තය කිව්වෙ ඔය කිව්වට කවුරුත් අත්අඩංගුවට ගන්නෙ නැහැ කියලා. ගත්තට පස්සේ කියනවා පළාත් සභා මැතිවරණය ළග නිසා දේශපාලන පලිගැනීම්වලට ගන්නවා කියලා. මේ විපක්ෂයේ හිටපු හොරු ටික දෙබඩි පිළිවෙතක් ගෙනියන්නෙ ." යැයි පවසා සිටියේය.
(සාකල්යා සඳමාලි)
0 Comments