කල්පිටිය, ඒත්තුකාල ජනපදයේ ප්‍රධාන මංසන්ධියේ වේලක්කන්නි දේවමාතා ප්‍රතිමාව තැත්පත් කර තිබූ වීදුරු කුටිය කඩා දේව ප්‍රතිමාව පොළොවේ ගැසු බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික තරුණයා දැඩි අන්තවාදී මත දරන අයකු බව පරික්ෂණවලදී  හෙළි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (17) පැවසීය.  ප්‍රතිමා වන්දනාව ප්‍රතිකේෂ්ප කරන නිසාත් මූලධර්මවාදී මුස්ලිම් ආගම පමණක් ලෝකයේ තිබිය යුතු බව විශ්වාස කරන නිසාත්  මෙවැන්නක් කළ බවට ප්‍රශ්න කිරීමේදී සැකකරු පැවසී යැයි පොලිසිය කියයි.
 

මෙම සැකකරු දැනට තහනම්කර ඇති ජවුහිත් ජමාතේ නමැති අන්තවාදී මුස්ලිම්   සංවිධානයේ ක්‍රියාකාරිකයකු බවට ද  තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. 

කල්පිටිය ප්‍රදේශයේ මදුසා පාසලකින් මෙම සැකකාර තරුණයා ඉගෙනුම ලබා ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා කීය.  අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වියේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙකි.  සැකකරුගේ පියා සිංහල ජාතික කතෝලිකයකු බව පොලිසිය කියයි.  සැකකරුගේ පියා මුස්ලිම් කාන්තාවක සමග විවාහවීමෙන් පසු මුස්ලිම් දහම වැළඳගෙනම  ඇති අතර මේ වන විට පියා මියගොස් ඇති බවද සඳහන් වේ.


දින 03ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගැනීමට රැඳවුම් නියෝග ලබාගෙන ඇති සැකකරුගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ තොරතුරු හෙළිවිණි යැයි පොලිසිය කීය.  වයඹ හා උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත  මෙම පරීක්ෂණ සිදුකරගෙන යන බව කල්පිටිය පොලිසිය කියයි.  දේව ප්‍රතිමාවට හානි කළ බව කියන මෙම සැකකරු කල්පිටිය පොලිසිය මගින් ඉකුත් 15 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණ.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-


Pix Courtesy By -Lankadeepa.lk