kalubowila-asiri-mawatha-fire-van

පෙරේදා රාත්‍රී 11.30 ට පමණ කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ආසිරි මාවතේ පටු මාර්ග කොටසක වැගන් ආර් රථයක් ගිනි ගැනීමට ලක්වූයේ ඒ තුළ පුද්ගලයෙකුද අළුකර දමමිනි.
මෙම වාහනය ගිනි ගැනීම එහි සිටි පුද්ගලයා හුදෙකලාවේ සිටියදී සිදුවූවක් වුවත් ඔහු එතැනට ආවේ තනිවම නොවේ. වාහනය ගිනි ගන්නට මිනිත්තු කිහිපයකට පෙර එයින් බැස යන්නේ ඔහු සමග සේවය කරන පුද්ගලයෙකි.


ආසිරි මාවතේ  ව්‍යාපාරිකයා සේවය කරන ස්ථානයට අයත් වාහන අංගනයක් තිබෙන අතර ඒ හා යාවී පිහිටි  සේවක නවාතැනට එම තැනැත්තා ඇරලවා බිරියටද ඇමතුමක් ගෙන යාමට සූදනම්වී සිටියදී ටිකකින් වාහනය එක්වරම ගිනිගැනීමට ලක්ව ඇති බව වාර්තාවේ. වාහනය තුළ කෑනයක පෙට්‍රල් ගැලුමක් තිබී ඇති අතර එය ලබාගෙන ඇත්තේද එමින් ගමනේදීය. එය ලබාගෙන ඇත්තේ යතුරු පැදියකට පෙට්‍රල් ගැසීමට බව පවසා තිබිණි.
එක්වරම පිපිරුම් ශබ්දයක් සමග වාහනය ගිනිගත් ආකාරය වාහනයෙන් බැසගත් පුද්ගලයා දැක ඇත්තේ තම නවාතැනේ රෝලර් ගේට්ටුව අරින අතරවාරයේ වන අතර ඔහු වහා එතැනට දිවගියත් වාහනය ගිනිගත් ස්ථානය පටු මාවතක සිරවී තිබීම නිසා ඒ වෙත යාමට හෝ පුද්ගලයින් මුදාගැනීමේ අපහසුතාවයක් පැවතී ඇත. එම පුද්ගලයා වහා පොලිසියටද දැනුම්දී මේ වෙනුවෙන් යමක් කරන්නට උත්සාහ ගෙන ඇති මුත් ගින්න නිවා දැමීමට හෝ පුද්ගලයා බේරාගැනීමට අපොහොසත්වී තිබේ.
මෙම ගින්න නිසා පිළිස්සී මියගියේ කළුබෝවිල භාතිය මාවතේ පදිංචි ​මොහොමඩ් ෆෂීර් නම් තිස් එක් හැවිරිදි එක්දරු පියෙකි.
ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිව සිට මෑත කාලීනව සිදුවූ විවාහයෙන් පසු කළුබෝවිල පදිංචියට පැමිණ ඇති අතර සිය මාමණ්ඩියට අයත් වාහන අලෙවි සලේ කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිට තිබේ. එම ව්‍යාපාරික ස්ථාන කළුබෝවිල හා දෙල්කඳ පිහිටා තිබේ. එහි සේවය කරන සේවකයන් එම ව්‍යාපාරික ස්ථානයට අයත් වාහන අංගනයක නැවතී සිට ඇත.
 සිද්ධිය වූ පෙරේදා 10 දා රාත‍්‍රී 10.30 ට පමණ මියගිය ව්‍යාපාරිකයා එම වාහන ආයතනනයේ රියදුරු සේවයේ යෙදෙන සේවකයකු සමග රාත‍්‍රී ආහාරය ගැනීමට දෙහිවල පිහිටි ප‍්‍රසිද්ධ හෝටලයකට ගොස් තිබේ.
 අනතුරුව මියගිය ව්‍යාපාරිකයා තම සේවකයා ඇරලවීමට කළුබෝවිල ආසිරි මාවතේ පිහිටි වාහන අංගනය වෙත වැගන් ආර් රථයෙන් පැමිණ තිබේ. ඒ එන අතරමගදී ඔහු සිය රථයට ඉන්ධන පිරවුම්හලකින් කෑන් එකකට පෙට්රල් ලබාගෙන ඇත්තේ යතුරුපැදියට දැමීමට කියාය.සිය මිතුරකුගේ යතුරුපැදියට පෙට්රල් ගැනීමට අවශ්‍ය බැව් සගයාට ඔහු කියා තිබේ.පෙට්රල් සහිත කෑනය රථයේ පසුපස තබා ඇත.


 ඉන් අනතුරුව ව්‍යාපාරිකයා නැවත රථය පදවාගෙන සිය සේවකයා ඇරලවීමට ආසිරි මාවතේ වාහන අංගනය වෙත
ගමන් කර අංගනයට ආසන්න අතුරු මාර්ගයේ නවතා තිබේ. ඉන් සේවකයා බැසගත් විගසම නැවත පිටත් නොවූ ව්‍යාපාරිකයා  මෙම සිද්ධිය වීමට මොහොතකට පෙර බිරිඳට දුරකථන ඇමතුමක් ලබා දෙමින් වාහනය පණගන්වාගෙනම සිට ඇති බව පරීක්ෂණ අනුව වාර්තාවේ. ඉදිරි දිනයක පවත්වන්නට නියමිත ඥාතී විවාහ උත්සවයකට අවශ්‍ය කේක් වර්ග ලබාගැනීම සම්බන්ධයෙන් එම කතාබහ පැවති බව ව්‍යාපාරිකයාගේ බිරිය සාක්ෂි ලබාදී ඇත.
වාහනය එලෙස පණගන්වා තිබියදී මිනිත්තු කිහිපයක් ඇතුළත පිපිරුම් හඩ ඇසුණ බව වාහනයෙන් බැස්ස සේවකයා පවසා තිබේ.දුරස්ථ පාලනයෙන් වාහන අංගනයේ ගේට්ටුව විවෘත කර ඇතුළුවී නැවත එය
වැසීමත් සමග විශාල පිපුරුම් ශබ්දයක් තමාට ඇසුණ බවත් ඒ සමගම පිටතට ආ තමා මියගිය අයගේ රථය ගිනිගනිමින් තිබෙන අයුරු දැක ඒ වෙත ළඟාවීමට ප්‍රයත්නයක යෙදුණත් එය කරන්නට අමාරු බව වැටහී මේ
ගැන පොලිසියට දැනුම් දුන් බව පවසා තිබේ. පොලිසිය දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ
දෙපාර්තමේන්තුවට මේ ගැන දැනුම් දී තිබේ.
 ඒ අනුව එම ස්ථානයට දෙහිවල ගිනි නිවීමේ රථය පැමිණ ගිනි ගනිමින් තිබූ රථයේ ගින්න මැඩ පැවැත්වීය.
 ගින්න නිවාදැමුවද එය දැඩි ලෙස පිළිස්සී තිබූ බවත් රථය තුළ සිටි ව්‍යාපාරිකයා ද හඳුනාගත නොහැකි තරමට පිළිිස්සී සිටි බවත් පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා  දිවිනසාගැනීමක් සිදු කර තිබේද පිටස්තර කෙනෙකු පැමිණ ඝාතනයක් සිදු කර ඇතිද නැතිනම් අනපේක්ෂිත ලෙස ඇතිවූ ගින්න අවස්ථාවේ වාහනය තිබූ තැන අනුව ව්‍යාපාරිකයාට පැනයන්නට බැරිවී සිර වුණාද වැනි සැකමුසු කාරණා මෙම සංසිද්ධිය සමග ඉතිරිව තිබේ.
වාහනය තුළ හිතාමතා පිපුරුමක් සිදුකරන ගැජට්ටුවක් හෝ වෙනයමක් තිබී නැති බවට නිරීක්ෂණය වී ඇති බවත් එවැනි විශේෂ පිපිරුමක් වූයේ නම් වාහනයේ කැබලි විසිවන ආකාරය වෙනස්විය හැකි බවත් පරීක්ෂණ පවත්වන නිලධාරීන් පවසා ඇත. ව්‍යාපාරික බිරිය පවසා ඇත්තේ තමා දන්නා තරමින් ව්‍යාපාරිකයාට සතුරන් නැති බවයි.
 කෙසේ වෙතත් මේ වනවිට මෙම සිද්ධිය ඇසින් දුටු සාක්‍ෂි කිසිවක් නොමැති නිසා මේ සම්බන්ධයෙන් පුළුල්
පරීක්‍ෂණයක් සිදුකරන බව පොලිසිය පවසන අතර ගිනිගත් වාහනයෙන් හමුවූ විකෘතිවූ සිරුර සම්බන්ධයෙන් ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකර ඇත්තටම එහි සිටින්නේ ව්‍යාපාරිකයාද යන්න නිශ්චය කරන බව දන්වා ඇත.
අවට නිවාස වල සීසීටීවී පරීක්ෂාවන්ද සිදුකර තිබෙන අතර රථයේ ගමන් ගත් සේවකයා, ව්‍යාපාරිකයාගේ
බිරිඳ, තවත් සේවකයන් දෙදෙනෙකු ඇතුළු 10 දෙනකුගෙන් පමණ මේ වනවිට ප‍්‍රකාශ ලබාගෙන ඇතැයි ද
වාර්තාවේ.