kalubowila-asiri-mawatha-van-fire

ඊයේ රාත්‍රී 11.30 ට පමණ කළුබෝවිල ආසිරි මාවතේ වැගන් ආර් මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගිය පුද්ගලයා දෙල්කඳ ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් වෙළඳාමේ නිරත 34 හැවිරිදි  මොහොමඩ් නෂාර් මොහොමඩ් නෂීර් නමැති ව්‍යාපාරිකයෙකු බවට හඳුනාගෙන තිබෙයි.
ඔහු දෙල්කඳ ප්‍රදේශයේ කාලයක් තිස්සේ වාහන අමතර කොටස් ව්‍යාපාරයෙ පවත්වාගෙන ගිය අයෙකු බවද ඔහුට ව්‍යාපාරික එදිරිවාදීන් සිටි බවටද තොරතුරු අනාවරණයවී ඇත.
මින් ඉහත පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු වන මොහු, විවාහයෙන් පසු කළුබෝවිල භාතිය මාවත ප්‍රදේශයට පදිංචියට පැමිණ තිබේ.


මෙම ව්‍යාපාරිකයා අසල පිහිටි අවන්හලකින් රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව නැවත සිය නිවස වෙත යමින් තිබියදී මෙම සංසිද්ධියට මුහුණපා ඇත. ඔහු එකී ස්ථානයට ගියේ ඇයිද වාහනය ගිනිගත්තාද යමෙකු ගිනි තැබුවාද ආදී කරුණු තවම අවිනිශ්චිතය.

සිද්ධිය වූ ස්ථානය ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් නිරීක්ෂණය කර ඇති අතර රජයේ රස පරීක්ෂක සහ අදිකරණ වෛද්‍ය නිලධාරීවරයාද මේ වනවිට එම ස්ථානයට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබේ,
සිද්ධිය ගැන ඉදිරි විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.