kalubowila-man-fire

කළුබෝවිල, ආසිරි මාවතේ ගිනිගත් මෝටර් රථයක් තුළදී පිලිස්සී මියගොස් සිටි පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පෙරේදා (16) දා සිදුකළ අතර, එහිදී මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව කොහුවල පොලීසිය පවසයි. මෙසේ මියගොස් සිටියේ කළුබෝවිල භාතිය මාවතේ පදිංචි මොහොමඩ් නසාර් මොහොමඩ් තස්වාන් (33) නමැති ව්‍යාපාරිකයෙකි. මෙම පුද්ගලයා සිය මෝටර් රථයෙන් ඉකුත් 10 වැනිදා රාත්‍රි කළුබෝවිල ආසිරි මාවත ප්‍රදේශයේ අතුරු මාර්ගයකට පැමිණි අවස්ථාවේදී අධික ශබ්දයක් සහිතව පිපිරීමක් සමග මෝටර් රථය ගිනිගෙන විනාශ වී තිබූ අතර එහිදී ඒ තුළ සිරවී සිටි රථයේ හිමිකරුද හඳුනාගත නොහැකි තරමටම පිලිස්සී මිය ගොස් තිබුණි.

පසුව සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා පැමිණ මෝටර් රථය පූර්ණ පරීක්ෂාවකට ලක්කළ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරින්ද පැමිණ පරික්ෂණ ආරම්භ කෙරුණි. සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් රන්නා ගමගේ මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළ අතර මියගොස් සිටි පුද්ගලයා හඳුනාගත නොහැකි තරමටම පිලිස්සී තිබූ අතර, සිරුර ඔහුගේ පියාගේ සිරුරේ කොටස් සමග ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කොට හැදුනා ගැනීමට හැකි වූ බව අතිරේක රස පරික්ෂක ඩී.එච්.එල්. ඩබ්ලිව්. ජයමාන්න මහතා තහවුරු කර තිබූ බව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා හා සහකාර පොලිස් අධිකාරි ප්‍රගති ලක්මිණි මහතාගේ උපදෙස් මත, කොහුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් හෙට්ටිහේවා මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශනඅංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුරංජිත් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 (මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර)