කැකිරාව ප්‍රදේශයේ පාසලක දහය වසර එකම පන්තියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක්
බියට පත්කර එක් ශිෂ්‍යයකුගේ නිවෙසට කැඳවා සති තුනක් පමණ කාලයක් තුළ බරපතළ ලිංගික අපයෝජනය
කර ඇති පහළොස් හැවිරිදි ශිෂ්‍යයන් දෙදෙනකු සැකපිට 25දා කැකිරාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු
ලැබ තිබේ.  වින්දිත ශිෂ්‍යාව එකම පන්තියේ තවත් ශිෂ්‍යයකු සමඟ කතා කරමින් සිටින අයුරු ජංගම
දුරකථනයකින් වීඩියෝ කර ශිෂ්‍යාවගේ අක්කාට පෙන්වන බවට බියට පත්කර එසේ නොකරන්න නම් තම
නිවෙසට පාසල් නිමවී පැමිණෙන ලෙස දන්වා ගෙන්වාගෙන ශිෂ්‍යයන් දෙදෙනා ශිෂ්‍යාව වරින්වර බරපතළ
ලිංගික අපයෝජනය කර ඇති බව පොලිස් පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ



සිද්ධිය ශිෂ්‍යාවගේ අක්කා සියැසින් දැක පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත. අදාළ ශිෂ්‍යාවගේ මව
ඇය කුඩා කාලයේම මියගොස් ඇති අතර දැනට අක්කා භාරයේ දිවි ගෙවයි. අපයෝජනයට ලක්වූ දැරිය
කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂිකා ඉන්ද්‍රානි මහත්මිය විසින්
කැකිරාව දිසා රෝහලේ වෛද්‍ය සේනාරත්න මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව කළ පරීක්‍ෂණයේදී
දූෂණයට ලක්වී නැති බව තහවුරු වී ඇත.

 ශිෂ්‍යාව දුන් ප්‍රකාශය අනුව අත්අඩංගුවට ගත් සැකකාර ශිෂ්‍යයන් දෙදෙනා කැකිරාව දිසා
මහෙස්ත්‍රාත් යූ.එස්.කේ.කේ. වෙරණියගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනා මාර්තු
31දා කැකිරාව උසාවියට කැඳවීමට නියෝග කළ අතර ශිෂ්‍යයන් දෙදෙනා අනුරාධපුර අභය ළමා
නිවාසයේ රඳවා තබන ලෙසත් ශිෂ්‍යාව අක්කා භාරයේ තබන ලෙසත් පොලිසියට නියෝග කළේය. කැකිරාව
පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් කුමාරසිරි මහතාගේ උපදෙස් අනුව කාන්තා උප
පොලිස් පරීක්‍ෂිකා ඉන්ද්‍රානි සහ උප පොලිස් පරීක්‍ෂක එච්.එම්. ධනපාල හේරත් යන මහත්ම මහත්මීන්
මෙම නඩුව උසාවියට ඉදිරිපත් කළහ.

කැකිරාව - ඉසුරු ඒකනායක