keselwatte-dinuka-dies

මියගිය මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකුව සිට පාතාලය මෙහෙයවූ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය සැකකරුවෙකු වූ කෙසල්වත්තේ දිනුක හෙවත් ආර්.ඒ.දිනුක මධුෂාන් ඩුබායිහි වාසය කරමින් සිටියදී මියගොස් ඇති බවට වාර්තා පළව තිබේ.  ඔහු හෘදයාබාදයකින් මියගොස් පොළවේ වැතිර සිටින ආකාරයක් දිස්වන ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත්ව ඇති අතර ඔහු අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇදවැටී හෘදයාබාධයකින් මියගිය බවට හා මියයාමෙන් පසුව කළ පරීක්ෂණයේදී කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බව ඒසමග ලැබී තිබෙන විස්තරයේ සඳහන්වේ. ඔහුගේ පවුලේ ඥාතීන් ඔහුගේ මරණය තහවුරු කරගන්නට කටයුතු කරමින් සිටින බව සවස වාර්තා විය.
සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන  කෙසෙල්වත්තේ දිනුක කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ නමගිය අපරාධකරුවෙකි.

ඔහුගේ පියා බව කියන නීල් නමැත්තාගෙන් පසු කෙසෙල්වත්තේ බලය ඔහු සතුවූ බවද පැවසිණි.
මිනීමැරුම් හා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබා ඇති මොහු මීට වසර හතරකට පෙර  හොර රහසේ මෙරටින් පැනගොස් තිබූ අතර ඔහුව අල්ලාගන්නට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබුණි. මේ නිසා ඩුබායිහි මොහු වෙනත් නමකින් සැඟවී සිටි බව කියැවේ.
ඩුබායි සිටියදී මෙරට මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වූ අතර ඔහුගේ සහයකයින් කිහිප දෙනෙකු ද පසුගිය
කාලසීමාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ඔහුට පුද්ගල ඝාතන මෙන්ම කප්පම් ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකි.


2010 වසරේ මැයි මස 4 වන දා කෙසෙල්වත්ත - මුහන්දිරන් පටුමඟේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය
කිරීම, එම වසරේදීම අප්‍රේල් මස 2 වන දා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම වැනි චෝදනා ගණනාවක් ඔහුට එදිරිව පවතී. හදිසියේ මියයන විට  කෙසෙල්වත්තේ දිනුක 34 හැවිරිදි වියේ පසුවූයේය.
මෙම මරණය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියද මේ වනවිට කටයුතු කරමින් සිටී.