keselwatte-dinuka-dies

ඩුබායිහිදී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වූ කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැකකරන සිරුර කටුනායකට අද යානයකින් රැගෙන විත් තිබෙන අතර එලෙස පැමිණෙන අවස්ථාවේ ඔහුගේ මව කියන කාන්තාවක් හා පවුලේ බව පවසන පිරිසක් ද ගුවන්තොටුපෙළට පැමිණ තිබූ බව වාර්තා විය.




මින් ඉහත මියගිය මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකුව සිට පාතාලය මෙහෙයවූ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය සැකකරුවෙකු වූ කෙසල්වත්තේ දිනුක හෙවත් ආර්.ඒ.දිනුක මධුෂාන් ඩුබායිහි වාසය කරමින් සිටියදී මියගොස් ඇති බවට පසුගිය 14 වනදා වාර්තා පළව තිබුණි.
 ඔහු හෘදයාබාදයකින් මියගොස් පොළවේ වැතිර සිටින ආකාරයක් දිස්වන ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත්ව තිබූ අතර ඔහු අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇදවැටී හෘදයාබාධයකින් මියගිය බවට හා මියයාමෙන් පසුව කළ පරීක්ෂණයේදී කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බව ඒසමග ලැබී තිබෙන විස්තරයේ සඳහන් විය.
ඔහුගේ සිරුර ලංකාවට ගෙන්වා ඇත්තේ කොරෝනා රෝගය සහිත බවටද වාර්තා පළවූ පසුව වීම විශේෂිතය.

ඩුබායි සිට මාලදිවයින හරහා ශ්‍රි ලංකාවට පැමිණි UL 232 ගුවන් යානයෙන් අද (18) පෙරවරු 10.47ට  එම මළසිරුර ගෙනවිත් තිබුනේ කසුන් මධුරංග රාජපක්ෂ නම්වූ වෙනත් නමකිනි.



එම සිරුර කෙසෙල්වත්තේ දිනුකගේ ද යන්න ස්ථිර කර ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමටද නියමිත බව වාර්තා විය.

1986.10.06 වැනි දින උපන් රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුක 862800788V දරණ ජාතික හැදුනුම්පත මෙරටදී භාවිත කර ඇති අතර N1453535 දරණ විදෙස් ගමන් බලපත්‍රය යොදා ගනිමින් 2005 වසරේදී විදෙස් ගතව ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
නමගිය පාතාල නායකයෙකුව සිට මියටගිය නීල් රාජපක්ෂ ඔහුගේ පියා වන අතර ඔහුගේ දේහය හඳුනාගන්නට අද කටුනායකට ආ මව රේණුකා අමරසීලී නම් විය.

විවාහකයෙකු ලෙස සඳහන්වන කෙසෙල්වත්තේ දිනුකගේ බිරිඳ‌ගේ නම ලෙස පොලිස් වාර්තාවල සඳහන් වන්නේ සුමාලි භාග්‍යා තිලකරත්නයි.

මරදාන ප්‍රදේශයේදී අයෙකු කපා කොටා ඝාතනය කිරීම, කොළඹ 12 මුහන්දිරම් පටුමගේදී අරුණජිත් සුරම්‍ය රාජපක්ෂ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, කිත්සිරි රාජපක්ෂ නැමැත්තා ඝාතනයට සැලසුම්කිරීම, ලෙව්කේ බණ්ඩාරගේ මිලාන් නැමැත්තා කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම යන අපරාද සම්බන්ධයෙන් කෙසෙල්වත්තේ දිනුකට චෝදනා එල්ලවී තිබිණි.