keselwatte-dinuka-story

ඩුබායිහිදී මියගිය බව දක්වමින් ඊයේ ලංකාවට ගෙන දේහය රැගෙන ආ පාතාල කල්ලි නායකයෙකුවූ කෙසෙල්වත්ත දිනුක යනු ආර් ප්‍රේමදාස ආණ්ඩුව පැවති වකවනුවේ කෙසෙල්වත්ත හොල්ලාගෙන සිටි මැරවරයෙකු ලෙස ප්‍රකට කෙසෙල්වත්ත නීල් ගේ පුතාය. 

නීල් එවක ජනපතිවරයාගේ හිතවතෙකුවූ අතර පාතාල වැඩ කරත් පාතාල අපරාධකරුවෙක් ලෙස කිසිවෙකු හඳුන්වා තිබී නැත. කෙසෙල්වත්ත යනු හිටපු ජනපතිද හැදී වැඩුණ ප්‍රදේශයයි. ඉහළින්ම පැවති දේශපාලන හයිය මත පළතුරු තට්ටු කුලියට දීම බස් වේලා සටහන් කිරීම වැනි රැකියා අවස්ථා තම ගෝලයින්ට සලසා නීල් ජීවත්වූ බව කියැවුණි. සිය පුතු දිනුක පාතාල නායකයෙක් ලෙස මතුකිරීමට නීල්ට කිසිදු අදහසක් තිබී නැත.
එවක දිනුක ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකුවූ අතර ජාතික කණ්ඩායමේ නායක ෆුඩ් බෝල් රොෂාන් හා සමීපව කටයුතු කළ ක්‍රීඩකයෙකුද වී සිටියේය.
1993 ප්‍රේමදාස ඝාතනය සිදුවන්නේය. ඉන් පසු බලය ගිලිහී යන කෙසෙල්වත්තේ නීල් ට පිරිස් බලය අහිමි විය.මැනිං මාර්කට් හි බලය මෙහෙයවූ කෙසෙල්වත්තේ අරියපාලට හා තවත් මැරයෙකුවූ කිත්සිරි රාජපක්ෂ කෙසෙල්වත්තේ බලය අල්ලාගන්නට නීල් ඝාතනය කරන්නේ ඉන් පසුය. ඇමතුමක් ලබාදී මාදම්පිටිය කනත්තට නීල් ගෙන්වා  ගන්නා ඔවුන් නීල් ඝාතනය කර මිනිය කුණු බක්කියක් මත දමන ලද බව පැවසිණි.

ඒ දක්වා පාතාල ක්‍රියාකාරකම් ගැන උනන්දුවක් නොතිබූ දිනුක පාතාලයෙකු කරවූයේ මෙම සිදුවීමයි. පියා ඝාතනයේ පලිය ගැනීමට දිනුක ක්‍රියාකරන අතර ප්‍රධාන සැකය එල්ල වූ ආරියපාල ඝාතනය කරන අතර දිනුකගේ මැර තර්ජන හමුවේ කිත්සිරි රාජපක්ෂ සිය පවුලත් සමග ලංකාව හැර ඉතාලියට පළා ගිය බවද පැවසිණි.
කිත්සිරි රාජපක්ෂ හා ඔහුගේ සොයුරු අරුණජිත් රාජපක්ෂද ඉතාලියේ වෙනම ජීවතයක් අරඹන අතර යුද සමයේ දී ඉතාලියේ අපි වෙනුවෙන් අපි වැඩසටහනට මුදල් එකතු කරන්නට මුල්වන්නේ ඔවුන්ය.
 සිංහලයින් වෙනුවෙන් උද්ඝෝෂණ සංවිධානය නිසා ලංකාවේ පාලකයින්ගේ දේශපාලන හොද හිත දිනාගන්නටද ඔවුන් සමත්වන අතර පරණ ප්‍රශ්න අමතක කර මහින්ද ආණ්ඩු කාලයේ ලංකාවට පැමිණෙන්නේ 2011 දීය.


ඔහු ලංකාවට එනතුරු ඔත්තු බලමින් සිටි දිනුක ඒ වනවිට සංවිධානාත්මකව තම පාතාල ජාලය ශක්තිමත් කරගෙන සිටි අතර දිනුක අතින් අරුණජිත් රාජපක්ෂව ඝාතනය වෙයි.
 මහින්ද රාජපක්ෂ රජය යටතේ කොළඹ නගර සභාවට තරග වදින්නට සූදානම් වෙමින් සිටි කිත්සිරි රාජපක්ෂත් දිනුක  ඝාතනය කරයි. සමයං වෙත ලබා දෙන ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවකට මෙම කාර්යය ඔහු කළ බව කියැවේ.
අපි වෙනුවෙන් අපි අරමුදලේ සැලකියයුතු භූමිකාවක් කළ නිසා කවුරුත් දන්නා කෙනෙකු බවට පත්ව සිටි
කිත්සිරි රාජපක්ෂ ඝාතනය වීම එවකට පැවති මහින්ද ආණ්ඩුවට ප්‍රබලව දැනුණි. ඝාතනය මෙහෙයවූයේ කෙසෙල්වත්තේ දිනුක බව පොලිසිය හෙළි කරගැනීමෙන් පසු ඔහුට ලංකාවේ වසන්නට බැරි තැනට කටයුතු සිදු විය.
දිනුක 2011 දී ඩුබායි රාජ්‍යයට පළායන්නේ මේ නිසාය. ඒ වනවිට තම ගෝලබාලයින්ගේ අණදෙන්නා ලෙස ඉහළ භූමිකාවක් රඟමින් සිටි දිනුක කරදරයකින් තොරව ඩුබායි සිට සිය පාතාල කටයුතු මෙහෙයවන්නට වූ අතර ඔහුගේ කසාද පවුලද ඩුබායි වෙත ගෙන්නා ගන්නේය. එවක ඩුබායිහි වාසය කළ මාකඳුරේ මදුෂ් හා කංජිපානි ඉම්රාන්ද ඔහුගේ සමීප හිතවතුන් විය.

අරියපාල ඝාතනය, අරුණජිත් ඝාතනය කිත්සිරි ඝාතනය මෙන්ම මරදානේදී පුද්ගලයෙකු කපාකොටා මැරීම,ලෙව්කෙ බන්ඩාර මිලාන් ඝාතනය, කප්පම් ගැනීම්, කුඩු ජාවාරම්, හා තවත් කොන්ත්‍රාත් මිනීමැරුම්
රැසකට දිනුක සම්බන්ධ වේ.
දිනුක වයස 34 දී අසාමාන්‍ය ලෙස දිවි හැරයන්නේ පසුගිය සතියේය. ඔහුගේ මරණය මත්ද්‍රව්‍ය මාත්‍රා අධික වීම නිසා සිදුවන්නට ඇති බවට හා කොරෝනා ආසාදනය නිසා සිදුවන්නට ඇති බවට වාර්තා පළව ඇති නමුත් තවම හේතු ස්ථිර කර නැත.
ඊයේ කටුනායකට ඔහුගේ යයි සැක දේහය රැගෙන ආ පසුව ඒ පිළිබඳ ඩීඑන්ඒ පරීක්ෂාවක් හා පීසීආර් පරීක්ෂාවක්ද සිදු කර තිබේ. අද ඒවායේ ප්‍රතිඵල ලැබීමට නියමිතය.
ඔහුගේ ගෝලයින් මරණය සැලවූ පසු කෙසෙල්වත්ත හා අවට සුදු කොඩි වලින් සැරසූ බව හා අට්ටාල ඉදිකළ බවට වාර්තා පළ විය. කෙසේ වෙතත් පොලිසිය අද උදේ වනවිට ඒවා ඉවත් කර තිබුණි.
මියගිය දිනුකට කොරෝනා ආසාදනයවී ඇතැයි නිගමනය වූවොත් ඔහුගේ ආදාහනය සීමාකම් සහිතව සිදු කෙරෙනු ඇති බවටද වාර්තා පළව තිබේ.