kilinochchi-dead-body-found

ඝාතනය කර කිලිනොච්චිය අම්බාන්කුලම් වැවට දමා තිබූ 37 හැවිරිදි ගැබිනි කාන්තාවකගේ සිරුර සොයාගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය කියයි.  මෙම ගැබිනි කාන්තාවගේ හිසට තියුණු ආයුධයකින් පහරදී ගෙල ද මිරිකා ඝාතනය කර තිබෙන බව කිලිනොච්චිය රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (10) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවිණි යැයි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මෙම කාන්තාව මාස 06 ක ගැබිනියක බවද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ  වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව පොලිසිය කියයි.




මෙසේ ඝාතනය කර ඇත්තේ කිලිනොච්චිය කුරමිද්චිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.  තිලකේශ්වරි (37) නමැත්තියකි. ඇයට අවුරුදු 3 ක දරුවකුද සිටින බව පොලිසිය කියයි. තිලකේෂ්වරී නමැති මෙම කාන්තාව සිය දරුවාද සමග කුරිමිචිපුරම් ප්‍රදේශයේ නිවසක කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටි බවත්, ඇය විවාහ වී නොමැති බවත් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය. මෙම කාන්තාව පසුගිය 8 වැනිදා උදේ ඇය  පදිංචිව සිටින කුලි නිවසේ අයට සිය දරුවා  බලාගන්නා ලෙස කියා සායනයට යන බව  පවසා පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.


එසේ පිටත්ව ගිය ඇය සවස් වන තෙක්ම යලි නිවසට නොපැමිණි අතර පසු දින 9 උදේ අම්බන්කුලම් ග්‍රාම නිලධාරිනිය කිලිනොච්චිය  මූලස්ථාන පොලිසියට දුරකතනයෙන් කතා  කර අම්බන්කුලම් වැවේ කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට පැමිණිලි කර ඇත. පොලිසිය පැමිණ සිරුර ගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමට කිලිනොච්චිය රෝහලට ගෙන ගොස් තිබේ. මෙම කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අතින් ගැබ්  ගන්නට ඇති බවත් එම පුද්ගලයා ඇය ඝාතනය කර සිරැර වැවට දමන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-