දිගු කලක සිට තම සැමියාගේ බේබදුකම නිසා ඇති වූ ගැටුම් නිරාකරණය කරගත නොහැකිව අන්ත අසරණ වූ
තිදරු මවක් නිදි පැදුරේදීම රෙද්දකින් තම සැමියාගේ ගෙල සිර කර මරා දමා ඇතැයි කොස්වත්ත පොලිසිය
කියයි. 



කොස්වත්ත පොලිස් වසමට අයත් බටහිර කිරිමැටියාන, රජවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ටී.ජී.ඇන්. ජානක
සම්පත් ජයරත්න නමැති 42 හැවිරිදි පුද්ගලයකු මෙම සිද්ධියෙන් නිවෙස තුළදීම මියගොස් ඇති අතර ඔහුගේ
බිරිය වන 38 හැවිරිදි තිදරු මවක් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මේ මස 28දා (ඊයේ) අලුයම 02.00ට පමණ මෙම මරණය සිදුව ඇති අතර සැකකාර කාන්තාව හා
සැමියා අතර නිදිපැදුරේදී ඇතිවූ ගැටුම සමථයකට පත්කරගැනීමට නොහැකි වූ තැන බිරිය රෙද්දකින්
සැමියාගේ ගෙල සිර කර නිදි පැදුරේදීම මරා දමන්න ඇතැයි පොලිසිය විශ්වාස කෙරේ.

වයස අවුරුදු 06, 04 සහ 02 යන වයස්වල පසුවන පිරිමි දරුවන් තිදෙනකුගෙන් යුත් මෙම පවුල වසර
දෙකක පමණ කාලයක සිට දංකොටුව ප්‍රදේශයේ  ඉඩම් හිමියකුට අයත් මෙම ඉඩමේ ඇති නිවෙසේ පදිංචිව
සිට ඇති බවත් මියගිය අය රැකියාව ලෙස පුංචි කරත්තයකින් යකඩ බඩු එකතු කිරීමේ නිරතව සිටි අයකු බවත්
පොලිසිය කියයි.

මෙම මරණය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් කිරීමට කටයුතු යොදා ඇති අතර කොස්වත්ත පොලිස්
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇස්. ජයනාත් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ
ස්ථානාධිපති උපොප නිමල් ප්‍රමුඛ නිලධාරීහු  වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.


ලුණුවිල - රෝස් කොලින්