kuliyapitiya-egg-video

පසුගියදා ෆේස් බුක් ඔස්සේ හුවමාරුවූ වීඩියෝවකින් එළිදුටුවේ නගරයක් මැද පාසල් සිසුවෙකුට බිත්තර ගසමින් වදදෙන ආකාරයයි. උපන් දින සැමරුමක් මුල් කරගෙන සිසුවෙකුගේ සගයින් කිහිපදෙනෙකු එක්ව බිත්තර ප්‍රහාරයක් සංවිධානය කර තිබී ඇති අතර එය පසු විනෝදය තකා වීඩියෝගත කර ෆේස්බුක් ඔස්සේ මිතුරන් අතරේ හුවමාරු කරගෙන තිබුණි.
එහි තිබුණ හිංසාකාරී ස්වභාවය නිසාම ඉතා ඉක්මණින් සමාජ මාධ්‍ය තුළ මිතුරන් නොවන විශාල පිරිසක් අතරටද පැතිරගොස් තිබූ අතර මේ හේතුවෙන් විශාල කථාබහක් නිර්මාණය විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ මෙම සිදුවීම වාර්තාවී තිබුණි.


මෙම සංසිද්ධියේ තිබෙන ගැටලු සහගත බව නිසා පොලිසිය මගින් විමර්ශනයක් අරඹන්නටද කටයුතු යෙදිණි.
කුලියාපිටිය නගරයේදී බිත්තර ගසා ගන්නා සිසුන්ට එරෙහි කුලියාපිටිය නගර සභාවෙන් කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
   පාසල් සිසුන් පිරිසක් 24 වැනිදා උපන්දින සැමරුමක් මුල්කරගෙන දෙනෝදහසක් මගීන් ගමන් ගන්නා කුලියාපිටිය ප‍්‍රධාන උමං මාර්ගයේ බිත්තර විශාල ප‍්‍රමාණයක් කඩා එක් සිසුවකුගේ ශරීරයේ තවරා පාන් පිටි ආදිය තැවරීමක් ද සිදුකරමින් අන් සිසුන්ට ද වැරදි පූර්වාදර්ශයක් ලබාදීම මෙම පැමිණිල්ලට හේතුවයි.
එය පාදක කර ගනිමින් එම වීඩියෝව ද ලබාදෙමින් නගර සභාවේ සභාපති, ලේකම් හා පරිපාලන නිලධාරීන්ගේ උපදෙස් මත 25 වැනිදා බස්නැවතුම ස්ථාන භාර නිලධාරී නිරෝෂ සමිත් කුරේ මහතා විසින් කුලියාපිටිය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබිණි.    
ඒ අනුව අදාළ සිසුන් සොයා පරීක්ෂණ ආරම්භ වූ අතර සිසුන් හා විදුහල් බලධාරීන් කැඳවා මේ පිළිබඳ අවවාද කිරීමට කටයුතු කර තිබේ.