maha-shiva-rathri-day

මහා ශිව රාත්‍රි දිනය යනු හින්දු ආගමික බැතිමතුන්ගේ මහ දෙවියන් ලෙස සැලකෙන ශිව දෙවිඳු වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන සුවිශේෂ උත්සවය යි. එය සැමරීමට නිශ්චිත දිනයක් නොමැති අතර සෑම වර්ෂයක ම පෙබරවාරි හෝ මාර්තුවේ දිනයක යෙදෙන, ශිව දෙවියන් ප්‍රසාදයට පත් කිරීම සඳහා යෙදෙන එක ම දිනයයි. එබැවින් ලොව පුරා හින්දු බැතිමතුන් පුරා දිනයක් විවිධ උපවාස කරමින්, වෘත සමාදන් වෙමින් ශිව දෙවියන් වෙනුවෙන් ඇප කැපව පුද පූජා ආදියෙහි නිරත වෙති. ශිව දෙවියන් සතුටු කිරිමෙන් පිහිට ලබා ගනිති.  ශිව දෙවිඳුන්ගේ බිරිඳ වන අම්බාල් දේවියට ප්‍රිය වූ රාත්‍රී නමය නව රාත්‍රි වන බවත් ශිව දෙවිඳුන්ට ප්‍රිය වූ එක් රාත්‍රිය ශිව රාත්‍රිය ලෙසත් සලකනු ලබයි. එබැවින් හැකි තරම් ශිව දෙවිඳු වෙනුවෙන් කැප වී එතුමන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට උත්සාහ කිරිම මහා ශිව රාත්‍රි දින හින්දු ආගමික බැතිමතුන්ගේ බලාපොරොත්තුවයි.



හින්දු ආගම
ඉන්දියාව, නේපාලය සහ ඉන්දුනීසියාවේ වැඩි ජනතාවක් අදහන හින්දු ආගම ලොව තුන්වැනි ස්ථානයට වැඩිම ජනතාවක් අදහන ආගමයි. බිලියනයකට අධික ජනතාවක් හින්දු ආගම අදහති. වෙනත් ආගම්වලට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගන්නේ මෙහි එක් ශාස්තෘවරයෙකු නොමැතිකමත්, ඒකායන දහමක් නොමැති කමත් ය. ලොව පැරණිතම ආගම ලෙස ද හින්දු ආගම සැලකේ. ක්‍රිස්තු පූර්ව 2000ත් 3000ත් අතර පැවති ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ද හින්දු ආගමික ඇදහිලි තිබුණ බවට සාධක ඇත. ලෝකයේ ප්‍රධාන ශිෂ්ටාචාර බොහෝමයක් ගොඩ නැගුනේ ගංගා නිම්න ආශ්‍රිතව ය.ඉන්දියාවේ සින්ධු ගංගා නිම්නය ආශ්‍රිතව ගොඩ නැගුණු ඉන්දු

නිම්න ශිෂ්ටාචාරය මෙයට හොඳම උදාහරණ වේ. මොහෙන්ජදාරෝහරප්පා නගර කේන්ද්‍ර කොට ගොඩ නැගුණු මේ ඉතා දියුණු ශිෂ්ටාචාරය තුළ ශිව දෙවියන් ඇදහීම ප්‍රචලිතව තිබුණු බව පෙනේ. කෘෂි කර්මාන්තව ප්‍රධාන ජීවනෝපාය වූ ඉන්දු නිම්නයේ ආදී වැසියෝ සශ්‍රිකත්වය පතා ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වූහ. පශු පති ,රුදු, අග්නි යන නම්වලින් ද එදා ශිව දෙවියන් හැඳින් වූ බව පෙනේ.ශිව දෙවියන් අදහන පිරිසක් ද ඇති වූ අතර ශිව අදහන්නන් "ශෛවවාදීන්" ලෙස හඳුන්වනු ලබයි. මහා ශිව රාත්‍රි දිනය වඩාත් වැදගත් වන්නේ හින්දු ආගමිකයන්ගේ ශිව දෙවියන් අදහන බැතිමතුන්ට

ත්‍රි මූර්තිය යනු
හින්දු බැතිමතුන්ගේ මතය අනුව ලෝකය පාලනය කිරීම බ්‍රහ්ම, විෂ්ණු, ශිව යන දෙවියන් තිදෙනා විසින් සිදුකරනු ලබයි. ලෝකය මැවීමත් ලෝකයට ධර්මය සියලු ශිල්ප ශාස්ත්‍රාදිය පහළ කිරීමත් බ්‍රහ්ම සතු කාරියකි. බ්‍රහ්ම මැවූ ලෝකයේ ධර්මය සහ සියලු ශිල්ප ශාස්ත්‍රාදිය, වර්ධනය කිරීම, සුරැකීම, ලෝකවාසීන් ආරක්ෂ කිරීම ආදී කටයුතු විෂ්ණු දෙවියන් අතින් සිදු වේ. ලෝකයේ අධර්මය විනාශ කරමින් ධර්මය ආරක්ෂ කර ගැනීම විනාශ කළ යුතු දේ විනාශ කර වර්ධනය කළ යුතු දේ වර්ධනය කිරීම හෝ විනාශ කර දැමීමත් ශිව දෙවිඳු සතු කාර්යයි. ඒ අනුව ලෝකය වර්ධනය කිරිම හෝ විනාශ කර දැමීමත් යුක්තිය පසිඳලීමත් කරනු ලබන මහා බලවන්තයා ශිව දෙවියන් බව පෙනේ. බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව දෙවියන් සම්බන්ධ වූ ඉතා රසබර දේව කථන රාශියක් ඇති අතර මහා ශිව රාත්‍රී දිනය පිළිබඳව ද එවැනි කථා ප්‍රවෘත්ති රැසක්ම දැක ගන්නට ලැබේ.

මහා ශිව රාත්‍රිය ඇරඹුණු ආකාරය
අනෙකුත් හින්දු පුද පූජා ආදිය දහවල් කාලයේ සැමරුව ද ශිවරාත්‍රිය සමරන්නේ රාත්‍රියේ දී ය. ශිව පුරාණය, හින්දු පුරාණය වැනි ග්‍රන්ථයන්හි මහා ශිව රාත්‍රි දිනය ඇරඹුනු හැටි දැක්වෙන කථාන්දර 4 සක් ඇත. ශිව දෙවිඳු වෙනුවෙන් දෙවියන් කළ 'යාග පූජාව පිළිබඳ

තොරතුරු ඉතා රසවත් ය.
සුරයන් හා අසුරයන් අතර යුද්ධයක් ඇති විය. අධාර්මික අසුරයෝ ගුණ ධර්මයෙන් යුතු සුරයන්ට කරදර කරන්නට විය. ලෝකය පාලනය කරන ත්‍රි මුතිය වන බ්‍රහ්ම, ශිව, විශ්ණු එක්ව මීට විසඳුමක් සොයා ගැනීමට සාකච්ඡා කළහ. අමරණීයත්වය ලබා දෙන අමෘතය නම් දිව්‍යමය පානය ලබා ගතහොත් අසුරයන් පරදා සුරයන්ට ජය ගත හැකි බව ඔවුන්ගේ තීරණය විය. කිරි සයුරේ පතුළෙහි සැඟ වී තිබුණු අමෘතය ලබා ගැනීම සඳහා කළ යුතු වූයේ කිරි සයුර කැළඹීමයි. මන්දර පර්වතය ගලවා වාසුකී නම් නා රජු ඒ වටා ඔතා පර්වතය කිරි සයුර තුළ දමා කැළඹු විට අමෘතය මතු වන බව දත් ශිව දෙවිඳු සියලු දෙවිවරු සංවිධානය කොට කිරි සයුර කැළඹීම ආරම්භ කලේ ය. කැළඹෙන කිරි සයුරින් දුර්ලභ වස්තූන් මතුවිය.
ඒ අතර සියලු සැප සම්පත් දෙන කල්ප වෘක්ෂය, යස ඉසුරු ළඟා කර දෙන සුරබිධේනුව, අමෘතය වැනි දුර්ලභ වස්තූන් කිරි සයුරින් මතු වූ අතර මුළු විශ්වයම මොහොතකින් විනාශ කර දැමිය හැකි උග්‍ර විෂ වර්ගයක් වූ 'හලා හල විෂ' ද කිරි සයුරින් මතු වූ වස්තූන් අතර විය. මෙම 'විෂ' වැරදීමකින් හෝ අසුරයන් අතට පත් වුවහොත් මුළු විශ්වයම විනාශ කරන බව දත් ශිව දෙවිඳු වහා ම එම විෂ බඳුන ගිල දැමුවේ ය. එකෙනෙහිම ශිව දෙවිඳුට සිහි නැති විය. බියපත් වූ දෙවිවරු හඬමින් වැළපෙමින් ශිව දෙවියන් වට කර ගත් අතර විෂ්ණු දෙවිඳු ඔවුන් අස්වසමින් ශිව දෙවිඳුට කිසිදු අනතුරක්
නොවන බව කීවේ ය. ශිව දෙවියන්ට යළි සිහි ගැන්වීමට යාග පූජාවක් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. වහා ම රැස් වූ දෙවිවරු ආහාර පානයෙන් ද පසඟතුරු ආදියෙන් ද සංගීත නාටක කෙළි නළු ආදියෙන් ද, මල් මාලාදියෙන් ද සම්පූර්ණ වූ පුරා දිනක පූජාවක් ශිව දෙවියන් වෙනුවෙන් සිදු කළ අතර පසු දින උදෑසන නින්දෙන් අවදි වූ ලෙසින් ශිව දෙවිඳු අවදි විය. සියලු දෙවියන් එක් රැස්ව ශිව දෙවියන් වෙනුවෙන් කළ මේ යාග පූජාව පැවැත් වූ දිනය ශිව රාත්‍රිය ලෙස නම් වූ බවත් හින්දු පුරාණයේ සඳහන් වේ.මහා ශිව රාත්‍රිය ආරම්භ විම පිළිබඳව හින්දු පුරාණයේ එන තවත් එක් කතාවකි මේ. මහා භද්‍ර කල්පයක් ලෙස හඳුන්වන්නේ ලෝකය ආරම්භ වී නැවත විනාශයට පත්වන කාලයයි.එක් භද්‍ර කල්පයක් අවසන් විය. ලෝකය පුරා ම මහා ගණ අඳුරක් පැතිර ගියේ ය. දෙවිවරුන්ගේ බලය හීන වී ගියේ ය. යලි භද්‍ර කල්පයක් ආරම්භ කොට ලෝකය මැවිය යුතු කාලය එළඹියේ ය. එහෙත් භාවනා කරමින් සිටින ශිව දෙවිඳුනට ඒ ගැන අමතකව ගියේ ශිව දෙවිඳුන්ගේ බිරිඳ වන පාර්වතී දේවිය නැවත භද්‍ර කල්පය ආරම්භ කොට ගස් වැල්, ප්‍රාණීන් බිහි කරන ලෙස එතුමන්ගෙන් ඉල්ලා දවසේ සතර යාමයේ පුද පූජා පැවැත් වූවා ය. නිරාහාරව ශිව දෙවිඳුන් වෙනුවෙන් එතුමිය කළ මේ ඉල්ලීම නිසා ශිව දෙවිඳු භාවනාවෙන් අවදි විය. වහා 'බ්‍රහ්ම' කැඳ වූ ශිව දෙවිඳු නව භද්‍ර කල්පය ආරම්භ කරන්නට කටයුතු සැලැස්වූයේ ය. පාර්වතී දේවිය මෙම භද්‍ර කල්පය ආරම්භ කරන ලෙස ශිව දෙවිඳුන්ට පුද පූජා කළ රාත්‍රිය 'ශිව රාත්‍රිය' ලෙස හින්දු පුරාණයේ සඳහන් වේ.



ශිව ලිංග පූජා
මහා ශිව රාත්‍රි දිනයේ ශිව ලිංගය නම් පූජනීය වස්තුවට පුද පිළිවෙත් කිරීම හින්දු බැතිමතුන්ගේ සිරිතයි. 'ලිංග' යන වචනයේ තේරුම සංකේක්තය යන්නයි. ඒ අනුව ශිව ලිංග යනු ශිව දෙවියන්ගේ සංකේතයයි. ශිව ලිංගය ලොව පහළ වූ දිනය මහා ශිව රාත්‍රි දිනය ලෙස ද සැලකේ. ඒ පිළිබඳව වායු පුරාණය, කර්ම පුරාණය, ශිව පුරාණය වැනි ග්‍රන්ථවල විස්තර කෙරේ.එක් භද්‍ර කල්පයක් අවසාන විය. සියලු දෙවිවරු නිසලව සිටියහ. විෂ්ණු දෙවියන් අනන්ත නා රජුගේ නා දරණ වැල මත සැතපී කිරි සයුරෙහි පා වෙමින් විවේක සුවය ගත කලේය. හිටිවනම හාත් පස බුබුළු දමමින් 'බ්‍රහ්ම' පහළ විය.ඒ වන විට දෙවියන්ගේ බල හීන වී තිබුණු බැවින් බ්‍රහ්මට විෂ්ණු හඳුනාගත නොහැකි විය. විශ්ණු සමීපයට ගිය බ්‍රහ්ම ලෝකය මවන්නා තමා බව පවසා 'ඔබ කවුරුදැයි' ඇසීය. විෂ්ණු දෙවිඳුගේ පිළිතුර වූයේ තමන් ලෝකයේ නිර්මාණකරුවා බවයි. බ්‍රහ්ම එය පිළිගත්තේ නැත. බ්‍රහ්මගේ වචන පිළිගැනීමට විෂ්ණු කැමති වූයේ නැත. දෙදෙනා දබර කරමින් සිටින අතර එක්වර ම විශ්වයේ කොණක විශාල ආලෝකයක් ඇති විය. ආලෝකය විශාල ගින්නක් බවට පත්විය. දබරය අමතක කළ විශ්ණු සහ බ්‍රහ්ම ඒ දෙස බලා සිටියේ පුදුමයෙනි. ඒ ගින්න මැදින් පහළ වූයේ ශිව ලිංගයයි. මෙහි අග මුල සොයන්නට විශ්ණු සහ බ්‍රහ්ම දෙදෙනා පිටත් වූහ. ඌරෙකුගේ වෙස් ගත් විෂ්ණු ගින්නෙහි මුල සොයා ගිය අතර හංසයකුගේ වෙස් ගත් බ්‍රහ්ම ගින්නෙහි අග සොයා ගියේ ය. එහෙත් දෙදෙනාට ම එය කළ නොහැකි විය. අවසානයේ ඒ උත්සාහය අත්හල විෂ්ණු බ්‍රහ්ම දෙදෙනා ගිනි ජාලාව මැද වූ ශිව ලිංගයට නමස්කාර කළහ. ශිව ලිංගයට ඇස් තුනක් පහළ විය. ඒ චන්ද්‍ර, සූර්ය සහ අග්නි යන තිනෙතයි. මොහොතකින් ශිව ලිංගය තුළින් ශිව දෙවිඳු පහළ විය. ත්‍රිශූලයක් අතින් ගත් ශිව දෙවිඳු 'අප තිදෙනා තිදෙනෙකු නොවේ එක් අයෙකුමය. නුඹලා මගේ දරුවන් වෙයි' පවසා අතුරුදන් විය. ශිව දෙවිඳු සහ ශිව ලිංගය පහළ වී නව භද්‍ර කල්පයක් ඇරඹුනු දිනය 'මහා ශිව රාත්‍රිය ලෙස පුරාණ ග්‍රන්ථවල විස්තර වෙයි.

මහා ශිව රාත්‍රියේ වතාවත් කරන ආකාරය
මහා ශිව රාත්‍රි දිනයට පෙර දිනයේ උදෑසන සිට වතාවත් ආරම්භ වෙයි. ඒ වතාවත් නිම ව න්නේ පසුදා සවස් යාමයේදී ය. ශිව රාත්‍රි දිනයට පෙර දින දහවල් කාලය උපවාස කාලයයි. එදින ඇතැම් බැතිමතුන් දවස පුරා නිරාහාරව පුද පූජා කටයුතුවල නිරත වන අතර ඇතැම් අය දවල් ආහාරය පමණක් ගනිති. මස් මාංශාදියෙන් සම්පූර්ණයෙන් වැලකී මේ උපවාස කාලය ගත කළ යුතු ය. සුලු ආහාරයක් හෝ ගන්නේ නම් පළමුව ශිව දෙවිඳුන්ට පූජා කොට ඉන්පසු තමා ද ආහර ගෙන ඉතිරි ආහාරයෙන් කොටසක් අවසානයේ කපුටන්ට දීම සිරිතකි.රාත්‍රි කාලයේ සතර යාමයට ශිව දෙවියන් වෙනුවෙන් පූජාවන් සතරක් කෝවිල තුළ සිදු කෙරෙන අතර සෑම බැතිමතෙක් ම එම පූජාවන්ට සහභාගී වීමට අමතක නොකරති. මෙම රාත්‍රිය තුළ හින්දු ආගමික සාකච්ඡා, ආගමික නාට්‍ය රඟ දැක්වීම, භක්ති ගීත ගායනා වැනි විශේෂ වැඩ සටහන්වලට ද ඔවුනට සහභාගීවීමට අවස්ථාව හිමින්වේ. පසු දින උදෑසන ස්නානය කිරීමෙන් පසු උපවාස කාලය නිම වේ.උදෑසන "පොංගල් බත්" නම් විශේෂ බතක් පිළියෙළ කරන අතර ශිව දෙවිඳු වෙනුවෙන් එය පූජා කෙරේ. අනතුරුව ශිව ලිංගය වෙනුවෙන් පුද පූජා කටයුතු සිදු කිරීම, බාර හාර වීම වැනි දේද සිදු වේ. ඒ සියලු වතාවත් නිමා කොට ශිව දෙවිඳුන් ද පාර්වතී දේවිය හෙවත් ශක්ති දේවිය නැම ද අනතුරුව එළවළු මිශ්‍ර බත් ආහාර වශයෙන් ගැනීම සිරිත වෙයි.
ශිව දෙවිඳුන් වෙනුවෙන් මහා ශිව රාත්‍රි දිනයේ කෙරෙන පුද පූජා හේතුවෙන් එතුමන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකි වන අතර මෝක්ෂය ලබා ගැනීමට හේතු වන බව හින්දු බැතිමතුන් විශ්වාස කරයි. පසු දින සවස් යාමය වන තුරුම ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජාවලට සහභාගී වීම මහ ශිව රාත්‍රි දිනයේ වතාවත් අතර කොටසක් වේ. මෙම වතාවත් හේතුවෙන් ප්‍රඥාව වර්ධනය වීම ත්, වීර්යය වැඩීමත්, සිත දමනය කර ගැනීමටත්, උඩගු බව, අහංකාරය, අධර්මිෂ්ඨ බව වැනි දුර්ගුණ තුරන් කිරීමටත් බැතිමතුන් යොමු වන බව හින්දු ධර්මය අනුව කියැවේ.

ඉන්දියාවේ පමණක් නොව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල පවා හින්දුන් වෙසෙන ඕනෑම රටක මහා ශිව රාත්‍රි දිනය දැඩි භක්තියකින් යුතුව මෙන්ම උත්කර්ෂවත් අයුරින්ද සංවිධානය කෙරෙන බව ඉතා පැහැදිළි කරුණකි. ශිව දෙවි කෝවිල්වල පමණක් නොව ස්කන්ධ කුමාර දෙවියන්ගේ කෝවිල්වල මෙන්ම ගණ දෙවියන්ගේ කෝවිල්වල ද මහා ශිව රාත්‍රී පූජාවන් පැවැත්වෙන අතර මෙය හින්දු ආගමිකයන්ගේ ආගමික උත්සවයක් පමණක් නොව සංස්කෘතික උත්සවයක් ලෙස ද සැලකිය හැකි බව කිව යුතු ය. දුප්පත් පොහොසත් භේදයෙන් තොරව එකට එක් වන මෙම බැතිමතුන් මෙම භක්ති පූජා පැවැත්වීමේ දී ද උපවාස කිරීමේ දී ද එකිනෙකා අතර සතුට සාමය, සමගිය සහ සමානාත්මතාවය වර්ධනය කර ගැනීමට යොමු වන බව ද මෙම පූජාවන් පැවැත්වීමේ ප්‍රධාන අරමුණයි.