සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ජපන් ජාතිකයෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 06ක මුදලක් ලබාගෙන වංචා කළ බවට විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව ලබන ජුනි 07 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (01දා) නියම කළේය.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් සැක පිට චෝදනා ලැබ සිටින ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ පැමිණිලිකාර ජපන් ජාතිකයාට කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලංකාවට පැමිණීමට අපහසු බවට ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2008 පෙබරවාරි මස පළමු වැනිදාත් මාර්තු මස 03 වැනිදාත් අතර කාලයේ ජපන් ජාතික යොමුකි නයාෂි නමැත්තාට අයත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 06ක මුදලක් ලබාගෙන වංචා කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ඥානදීපන් සිවජෝති, ඩිලන්ත මාලගමුව සහ විජිත බණ්ඩාර රණරාජා නමැත්තත්ය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේන්ද්‍ර කුමාරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් ලෝක වසංගතයක් වී ඇති කෝවිඩ්19 වසංගත තත්වය හමුවේ මෙම නඩුවේ පැමිණිලිකාර යොමුකි නයාෂි නමැත්තාට ලංකාවට පැමිණීමට අපහසු වී ඇතැයිද එහෙයින් මෙම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.ඒ අනුව මෙම නඩුව ලබන ජුනි 07 වැනිදා කැඳවීමට මහාධිකරණය විනිසුරුවරයා නියම කළ අතර,
ඒ අවස්ථාවේදී විත්තිකාර ඩිලන්ත මාලගමුව මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා එම කාලයේ වින්දේශ රටක පැවැත්වෙන මෝටර් රථ තරගාවලියකට.සහභාගි වීමට නියමිත හෙයින් ඉදිරි නඩු දිනයේදී ඔහුට අධිකරණයේ පෙනී නොසිටීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඊට අවසර දුන් විනිසුරුවරයා විත්තිකරුගේ ඇපකරුවන් දෙදෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.
(බුද්ධිමාල් රුබේරු)
0 Comments