malala-apple

පාකිස්තානයේ සමාජ ක්‍රියාකාරිනියක වන නොබෙල් සාම ත්‍යාගලාභීනී මලාලා යුසුෆ්සායි ඇපල් ඉන්කෝපරේෂන් සමාගමේ Apple TV+ නම් අන්තර්ජාල රූපවාහිනී සේවාව සමග හවුල්කාරිත්වයකට පිවිස ඇතැයි පවසයි. මේ හරහා ඇයගේ දායකත්වයෙන් නාට්‍ය, ළමා වැඩසටහන් සහ වාර්තා වැඩසටහන් නිෂ්පාදනය සැලසුම වී තිබේ.  මලාලාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක Extracurricular නම් වැඩසටහන් නිෂ්පාදන සමාගමක්ද මේ වනවීට පවතින අතර,

එම සමාගම සහ ඇපල් සමාගම අතර මෙතෙක් පැවැති හවුල්කාරිත්වය පුළුල් කිරීමක් මෙම නව එකගතාව හරහා සිදුව තිබේ. 2018 වසරේදී ඇපල් සමාගම මලාලා අරමුදල සමගින්ද එකගතාවකට පැමිණි අතර  ඒ හරහා ලොව පුරා වෙසෙන ගැහැනු දරුවන් වෙනුවෙන් ද්විතීයික අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීමේ අරමුණින් වැඩසටහන් නිෂ්පාදනය සිදු කෙරිණි. අද වනවිට 23 හැවිරිදි වියේ පසුවන මලාලා 2012 වසරේදී පාකිස්තානයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානයේ වෙඩික්කරුවන්ගේ වෙඩි ප්‍රභාරයකට ලක්ව බරපතළ තුවාල ලැබුවාය. තලේබාන් සංවිධානය විසින් නොසලකා හැර තිබූ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ඇතුළුව තවත් අයිතිවාසිකම් රැසක් වෙනුවෙන් ඇය පෙනී සිටීම මෙලෙස ප්‍රහාරයට ලක්වීමට හේතු විය. කෙසේ වෙතත් පසුව ඇයට බ්‍රිතාන්‍ය තුළ ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි වූ අතර, පසුගිය වසරේදී ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සිය උපාධියද හිමි කර ගත්තාය.