“මාමේ පැරෂුට් පුහුණුවේ තව ටිකයි තියෙන්නේ ඒ ටික ඉවර කරලා ලබන අප්‍රේල් මාසයේදී ගෙදරට එනවා කියලා මනෝජ් පුතා අනතුරට ලක් වෙන්න දිනකට පෙර දුරකතනයෙන් දැන්වූවා යැයි අම්පාර උහන ප්‍රදේශයේ දී ගුවන් හමුදා පැරෂුට් පුහුණුවකදී වූ අනතුරකින් ජීවිතයෙන් සමුගත් බලගණ නායක මනෝජ් වීරකොටුව මහතාගේ මාමා වන ආර්. එම්. රංජිත් රණතුංග මහතා කීය. අම්පාර උහන ගුවන් හමුදා පුහුණු පාසලේ පෙරේදා (20) පැවති පැරෂුට් පුහුණුවේදී මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ , මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි මනෝජ් පත්මතිලක වීරක්කොටුව යන ගුවන් හමුදාවේ බලගණ නායක ලෙස කටයුතු කළ තරුණයෙකි.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මනෝජ් පාසල් අධ්‍යාපනයෙන් පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 26 වැනි කණ්ඩායමට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හදාරා ඇති අතර ඉන් පසුව 2008 සැප්තැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී තිබේ. එදා පටන් මේ දක්වා ඔහු ගුවන් හමුදාව තුළ දැක් වූ සුවිශේෂි වූ දක්ෂතා නිසා ඉතා ඉක්මනින් ඉදිරියට පැමිණ සිටියේය. මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහුගේ මවගේ සොහොයුරා වන ආර්.එම්. රංජිත් රණතුංග මහතා අප සමඟ මෙසේද කීය.
මේ පුතා ගුවන් හමුදාවට ගියේ පුදුම ආසාවෙන්. හමුදාවේ හිටියත් නිතරම අපට දුරකතනයෙන් කතා කරල පවුලේ සියලු දෙනාගේ සුවදුක් හොයලා බැලුවා. මේ පවුලේ වැඩිමලා හැටියට පවුලේ සියලු කටයුතු ගැන හොයල බැලුවා. හැම අවස්ථාවකම ඉතා සිනාමුසුව අපත් එක්ක කතා කළා. මේ අනතුර වෙන්න දිනකට පෙර මට දුරකතනයෙක් කතා කරල කිව්වේ පැරෂුට් පුහුණුව ඉවර කරලා අප්‍රේල් මාසයේදී මම ගෙදර එනවා කියලයි. ඒත් ඒ දුරකතන ඇමතුම ලැබිලා දවසක් ගත වෙද්දී අපට අහන්න වුණේ පුතා ඊට ඉස්සර ගෙදර එන විත්තියයි. පුතාගේ මේ හදිසි වියෝව අප කාටත් දරාගන්න බෑ යැයිද ඉතා හැඟීම්බරව කීය.
මෙහිදී අප සමග අදහස් දැක්වූ ඔහුගේ පාසල් කාලයේ පටන්ම මිතුරකු වන වින්දිත් කීත් පියරත්න මහතා අප සමග මෙසේ කීය. මනෝජ් මාගේ කුඩා කාලයේ ඉඳලම මිතුරෙක්. අපි පාසල් ගියෙත් එකට.
ඔහු ගමේ හැම වැඩකටම දායක වුණා. පොදු වැඩක් කරනවා නම් නිරන්තරයෙන්ම ඔහු එතැන ඉන්නවා. ගුවන් හමුදාවට ගියාට පස්සේ වුණත් නිවාඩුවට නිවසට ආවට පස්සේ වැඩියෙන්ම කාලය ගත කරන්නේ පොදු වැඩවල. පන්සලත් එක්ක වැඩ කරමින්. පාසලේදී කැඩෙට්, බාලදක්ෂ, ඇතුළු සියලු බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා. ඔහු උපප්‍රධාන ශිෂ්‍ය නායක වෙලත් හිටියා. නායකත්ව ගුණාංග ඔහු තුළ ඉතා උසස් මට්ටමෙන් දක්නට තිබුණා. ඒ වගේම ඕනම කෙනකුගේ සිත් ඇදගන්නාසුලු පෞරුෂයක් ඔහු සතුව තිබුණා. ඒ වගේ අති දක්ෂ ගුණවත් මිතුරකු තමයි අපට මේ නැති වුණේ යැයි ද කීය.
මනෝජ්ගේ පියා විශ්‍රාමික බැංකු නිලධාරියෙකු වූ බී.ජී.එම්.ඩබ්ලිව්.එම්. චන්ද්‍රතිලක මහතා වන අතර මව ආර්.එම්. ආරියලතා මහත්මියයි. පියා වසර දෙකකට පමණ පෙර මෙලොව හැර ගොස් තිබේ. එතැන් පටන් තම මවගේ මෙන්ම සහෝදර සහෝදරියන් දෙදෙනාගේ ද බර කරට ගෙන කටයුතු කර ඇත්තේ මනෝජ් බව ඥාතීහු අප සමඟ කීහ. මනෝජ් මෙයට මාසයකට පමණ පෙර නිවෙසට පැමිණ මේ පුහුණුව සඳහා ගොස් තිබේ. ගුවන් හමුදාවට ගිය දවස්වල පටන් ඔහු පුහුණු වැඩසටහන් රැසකට සහභාගි වී ඇති අතර ඒ සියල්ලෙම ඉතා ඉහළින්ම සමත්ව ඇති බවත් මේ ඔහුගේ අවසන් පුහුණුව බවත් ඥාතීහු අප සමග සඳහන් කළහ.
(මොහොමඩ් ආශික්, ජේඒඑල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
0 Comments