matale-pradeep-senanayke

රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් තම සුවිසල් නිවස ඇතුළු එහි භාණ්ඩ සමග වටිනා ඉඩම වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා දන්දීමට කටයුතු කරන දානපති යුවළක් පිළිබඳව මාතලේ නාලන්ද උඩුදෙණිය ප්‍රදේශයෙන් වාර්තා   වේ. මාතලේ නාලන්ද උඩුදෙණිය පදිංචි ප්‍රදීප්  සේනානායක සහ ගීතා කුමාරි සේනානායක යුවළයි ඒ.  ඔවුන් පදිංචිව සිටින මෙම නිවස මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියට වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති අතර සමිතියේ සභාපති ඇතුළු පාලක මණ්ඩලයට මේ බව දැනුම් දී තිබේ.



මෙම සද්ක්‍රියාව පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා ඔවුන්ගේ නිවසට ගිය අවස්ථාවේදී ඔවුන් බුදු දහම මැනවින් අවබෝධ කරගෙන සිටින යුවළක් බව ද වැටහුණි. ප්‍රදීප් සේනානායක මහතා අනුරාධපුර රබෑව ප්‍රදේශයේ ජන්මලාභය ලබා ඇති අතර පවුලේ සහෝදර සහෝදරියන් හත්දෙනෙකි. අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වේ.  පාසල් අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික අංශයේ රැකියාවකට යොමු වූ ප්‍රදීප් මහතා රැකියාව සාර්ථකව සිදු කරගෙන යමින් සිටින අතරතුර මව අභාවයට පත්වීමෙන් පසුව තම දෙමාපියන් විසින් පවත්වාගෙන යන ලද සිල්ලර වෙළෙඳසල දියුණු කර නගරයේ ක්‍රම ක්‍රමයෙන්  විශාල වෙළෙඳ සංකීර්ණයක් ලෙස පවත්වාගෙන  ගොස් තිබේ.‍


මේ අතරතුර ශ්‍රී ලංකා මානව හිමිකම් සභාවේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඉන් ද ඉවත්ව පසුව ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටී.  සිංහ සමාජයේ ද නිලතල කිහිපයක් හොබවා ඇති ප්‍රදීප් මහතා අනුරාධපුර මෙන්ම මාතලේ නාලන්ද ප්‍රදේශයේ ද ප්‍රකට සමාජ සේවකයෙකි. අනුරාධපුර පදිංචි ගීතා කුමාරි මෙනවිය ජීවන සහකාරිය ලෙස තෝරාගෙන ඇති අතර ඇය ද  ප්‍රදීප් මහතා යන මග යමින් ජීවිතයේ අනන්‍යතාව  මෙනෙහි කරමින් සැහැල්ලු සිතින් සියල්ල අත්හැරිමට අදිටන් කරගෙන දෙදෙනා යහපත් ජීවිතයක් ගත කරමින් සිටින බව ද  ප්‍රදීප් මහතා පැවැසීය.


ප්‍රදීප් මහතා සමාජයට කළ සේවය වෙනුවෙන් විවිධ ආයතන මගින් දේශබන්දු, ශාසන කීර්ති, විශ්ව කීර්ති, ජොන්ස් නාමධාරි ආදී ගෞරව නාම රැසක් හිමි කරගෙන ඇති අතර ඉන්දියාවේ රාජස්ථාන් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක් ද ලබා දී තිබේ. නමුත් ඔහු මෙම ගෞරව නාම කිසිවක් පාවිච්චි නොකරන බව ද  පැවැසීය. ඔවුන් බුදු දහම පිළිබඳව මනා හැදෑරීමක් ඇතිව  අවබෝධයෙන් ජීවත්වන අතර නිවස තුළ ආගමික වතාවත් ද සිදු කරති. නිවසේ එක්  ස්ථානයක් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් වෙන් කර තිබේ.


ජීවිතයේ අනන්‍යතාව මෙනෙහි කරමින් සියල්ල අත්හළ යුතුය යන සංකල්පය ඔස්සේ යමින් මරනයෙන් පසු පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට සිරුරු ලබාදීම සඳහා පොරොන්දු පත්‍ර ද අත්සන් කර තිබේ. මේ දෙදෙනා මස් මාංශ අනුභවයෙන් තොරය. රට පුරා රජමහා විහාරස්ථාන ඇතුළු සිද්ධස්ථාන වන්දනා මාන කරමින් නිදහසේ සිටින බව ද ඔවුහු පවසති.




නිවෙස පිහිටා ඇති ඉඩමේ පලතුරු, අල වර්ග ඇතුළු ගෙවත්තක් ද ඇති අතර ඔවුන්ට අවශ්‍ය දේ ලබාගන්නේ එම ගෙවත්තෙන් බව ද අපට පසක් විය.  ඔවුන් සියල්ල දන් දී අවසානයේ පැවිදි වීමට ද හැකි මට්ටමකට සිත් පහදාගෙන සිටින බව ඔවුන්ගේ අදහස් දැක්වීමෙන් අපට වැටහිණි. මේ පිළිබඳව අදහස් දැක්වූ මාතලේ ශ්‍රී   පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන  මහතා කියා සිටියේ මෙවන් කටයුතු අගය කළ යුතු බවත් වත්මන් සමාජයට මෙය ආදර්ශයක් බවය. “වසර 8ක් පැරැණි මාතලේ ඇති පැරණිතම බෞද්ධ සංවිධානය වන මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය සිදු කරගෙන යන සමාජ සංස්කෘතික  වැඩපිළිවෙළ පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඔවුන්ගේ සිත්වල පහළ වූ පරිත්‍යාගයක් ලෙස මෙය අප වෙත ලබාදීමට තීරණය කර තියෙනවා.


ඒ සඳහා ඔවුන් සතුටු විය හැකි ආකාරයෙන් අපි වැඩිහිටි නිවාසයක් බවට පත් කර අවශ්‍ය කටයුතු කිරීමට තීරණය කර තියෙනවා. සමාජ සාරධර්ම වියැකී යන යුගයක මෙවන් විශාල යුග යුතුකමක් සිදු කළ දෙදෙනාට අපි අන්කවාරයක් පින්  දෙනවා. වත්මන් සමාජයේ සියලුදෙනාට මෙය  මහත් ආදර්ශයක්" බව ද ජයවර්ධන මහතා පැවැසීය.

(මහේෂ් කීර්තිරත්න)