රුපියල් ලක්ෂ 23ක් පැහැරගත් බව කියමින් බියගම ප්රදේශයේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු
මීගහවත්ත පොලිසියට බොරු පැමිණිල්ලක් කර ඇත්තේ ඔහු එම ආයතනයේ මුදල් ලක්ෂ ගණනක් කැසිනෝ සෙල්ලම්
කොට පරාදවීම නිසා බව මීගහවත්ත පොලිසිය විසින් කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
බැංකුවේ තැන්පත් කිරීමට නියමිතව තිබූ එම මුදල් කැසිනෝ සෙල්ලම් කිරීමෙන් පරාදවීම නිසා එම මුදල්
බැංකුවට තැන්පත් කිරීමට යෑමේදී කොල්ලකරුවන් දෙදෙනකු තමාට පහරදී පැහැරගෙන ගිය බවට ඔහු
සැලසුම් සකස් කර ඇත්තේ ඔහුගේම මස්සිනා සමඟ එකතුවී බව පොලිසිය හෙළි කරගෙන ඇත.
පොලිසිය පවසන අන්දමට රුපියල් ලක්ෂ 23ක් හා රුපියල් 84,000ක චෙක්පතක් ආයතනය මෙම විධායක
නිලධාරියා මාර්ගයෙන් දෙල්ගොඩ පිහිටි පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට නියමිතව තිබිණි.
එහෙත් කැසිනෝ සූදුවට හා තවත් වියහියදම් සඳහා මොහු ආයතනයේ මුදල්වලින් ලක්ෂ 20ක් පමණ වියදම්
කර ඇත. ඉන් ලක්ෂ දහඅටක් පමණම මොහු වියදම් කර ඇත්තේ කැසිනෝ ක්රීඩාව සඳහාය.
ආයතනයේ මුදල් පියවීමට නොහැකි බව දත් විධායක නිලධාරියා සිය මස්සිනාට මේ බව පවසා සැලසුමක්
සකස් කර ඇත. ඒ අනුව ඔහුගේ මස්සිනා සපුගස්කන්ද මාහේන ප්රදේශයේ මෙවැනි අපරාධවලට පළපුරුදු
දෙදෙනකු මේ සඳහා තෝරාගෙන තිබේ. ඔවුන් රුපියල් පනස් දාහක් මේ වැඩයට දෙන ලෙස ඉල්ලා තිබේ.
ඒ අනුව ආයතනයේ මුදල් 50,000ක් පමණක් දමාගත් බෑගයද රැගෙන ආයතනයේම වෑන් රියෙන් පැමිණ
බැංකුව ළඟින් බැසගත් විධායක නිලධාරියා ඔවුන් කලින් සිට සැලසුම් කළ පරිදි බැංකුව වෙත යද්දී
දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ එම මුදල් සහිත බෑගය පැහැරගෙන ගොස් තිබිණි.
විධායක නිලධාරියාගෙන් කළ ප්රශ්න කිරීමේදී ඔහු පොලිසියට පැවැසුවේ බැංකුගත කිරීමට ගෙනා රුපියල්
ලක්ෂ 23 හා 84,000ක් වටිනා චෙක්පතද කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බවය.
පසුව සූක්ෂ්ම ලෙස කරන ලද ප්රශ්න කිරීමෙන් පසු හා සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ කළ ප්රශ්න
කිරීමේදී එම කොල්ලය විධායක නිලධාරියා හා ඔහුගේ මස්සිනා එකතුව කළ සැලැස්මක් හා රඟපෑමක් බව
මීගහවත්ත පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
පසුව සැකකාර විධායක නිලධාරියාගේ නිවෙස සෝදිසි කර ඇති පොලිසිය තවත් රුපියල් ලක්ෂ තුනහමාරක
මුදලක්ද ඔහු විසින් කොල්ලකරුවන් පැහැරගෙන ගිය බව කී රුපියල් අසූ හතරදාහේ චෙක්පතද සොයා ගැනීමට
සමත්විය.
පසුව මොහුගෙන් කළ ප්රශ්න කිරීමේදී මොහුගේ මස්සිනාද මීගහවත්ත පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු
විදේශගතව සිට පැමිණ මුදල් පොලියට දෙන අයකු බවද හෙළිවිය.
ඉන් අනතුරුව මෙම දෙදෙනාගෙන් කළ ප්රශ්න කිරීමේදී රුපියල් පනස් දහසක කොන්ත්රාත්තුවට පැමිණ එම
මුදල් සහිත බෑගය උදුරාගෙන ගිය කොල්ලකරුවන් කවුදැයි හෙළිකර ගැනීමට මීගහවත්ත පොලිසියට හැකි විය.
එම සැකකරුවන් දෙදෙනා පලාගොස් ඇති බවත් ඔවුන් කවුදැයි මේ වනවිට හඳුනාගෙන ඇති බවත් කළ
විමසීමකදී මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතා පැවැසීය.
කැලණිය කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ඩයස් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම
යටතේ සහකාර පොලිස් අධිකාරි සමන් පුස්සැල්ල මහතාගේ අධීක්ෂණය යටතේ මීගහවත්ත පොලිස්
ස්ථානාධිපති නිශාන්ත හේරත් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන පැවැත්වූහ.
කීර්ති මෙන්ඩිස්
0 Comments