megan-queen-issue

රජ පෙළපත්වල නිසරු බව බහුතරයක් බෞද්ධයන් වූ ශ්‍රී ලාංකිකයන්ට අරුමයක් නොවේ. සිදුහත් කුමරු රජ සැපද, රජ පෙළපතද අතහැර දමා ලෝ යහපත පිණිස මැදුරින් නික්මුණේය. හැරත් අපේ ඉතිහාසයද විටෙක තවත් එවැනි දේට දෙස් දෙයි. සාලිය කුමරු ඔටුන්නද, සිහසුණද පසෙක ලා නික්මුණේ රජ මැදුර සැප නොවේ යැයි පවසමිනි.
 
මේ රජ කතා අතීතයට පමණක් සීමා වන්නේ නොවේ. වත්මනෙහිද විටින් විට රජ පවුල්වල කතා, රජ පවුල් අතහැර යාම් ගැන අසන්නට ලැබේ. මෙහිදී ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ වැඩිමහල් මිනිබිරිය වන මා තෝ කුමරිය 2017 වසරේදී රජ පවුල හැරපියා ගියේ සරසවියේදී හමුවූ සාමාන්‍ය පවුලක පෙම්වතා සමග දීග කෑම සඳහාය. ඇගේ නැන්දණිය සායිතෝ කුමරියද 2005 වසරේදී රජ පවුලෙන් වෙන්වුණේ සාමාන්‍ය වැසියකුගේ අත ගැනීම සඳහාය.මෙහිදී ලෝ යහපත වෙනුවෙන් රජ සැප, රාජකීය කීර්තිය අතහැර යාමක් දකින්නට නොලැබුණද මේ සංසිද්ධි කෙරේ සාමාන්‍ය ජනතාවගේ බලවත් අවධානය යොමුවන අයුරු නම් දකින්නට පුළුවන.



මේ දිනවල ලොව අස්සක් මුල්ලක් නෑර කතාබහට ලක්වන්නේ එංගලන්ත රාජකීය පවුල පිළිබඳවය. අද දවස වන විට එය ඒ සා උණුසුම් මාතෘකාවක් වන්නට හේතුවී ඇත්තේද රජ පවුල අතහැර යාමේ කතාවකි. එනම් මහ රැජිනගේ මුනුපුරා මෙන්ම ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ බාල පුත්‍රයාද වන හැරී කුමරු රජ පවුලේ වගකීම්වලින් නිදහස් වන්නට ගත් තීන්දුවත් සමගිනි. එතැනින් ඇරඹුණු මේ ඇද පළුදු මතුවීම් නොබෝදා ලෝකයටම පෙනෙන්නට පටන් ගත්තේ පහුගිය ඉරිදාවක CBS හා එක්ව කළ කතාබහකදී හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකල් සිදු කළ ආන්දෝලනාත්මක අදහස් දැක්වීමත් සමගය.

එහිදී ඇය පැවැසූයේ තම බිලිඳා උපදින තෙක් මග බලමින් සිටි සන්දියේදී දිවි නසා ගන්නට තරමේ අප්‍රසන්න අත්දැකීම් සමුදායක් රාජකීයයන් වෙතින් විඳින්නට ලැබුණු බවය.

‘‘ඔවුන් මගේ දරුවාගේ සමේ පැහැය ගැන කතා කරන්න පටන් ගත්තේ දරුවා පුතෙකුද, දුවෙකුද කියා දැනගන්නත් පෙරාතුවයි. එනම් ඔහු උපදින්නටත් ප්‍රථමයෙනුයි. සමේ පැහැය නිසාම ඔහුට කුමරකු (Prince) හෝ කුමරියක (Princess) ලෙස පදවි නාමයක් (Title) කිසි කලෙක නොලැබෙන බව ඔවුන් පැවැසුවා.

තමන්ට එල්ල වුණු විවිධ මානසික පීඩාවන් හමුවේ එයින් ගොඩ ඒමට රාජකීය පවුලේ කළමනාකරණ අංශ වෙත යොමු වුවත් ඔවුන්ගෙන්ද කිසිදු හව්හරණක් නොලැබුණ බවද මෙහිදී මේගන් කියා තිබුණි. එසේ වූයේ ඇය රජ පවුලෙන් වේතනයක් නොලබන සේවිකාවක් බැවිනි. මේ සා වූ කෙනහිලි නිසා විටෙක තමන්ට දිවි නසා ගැනීමට සිතුණු බව ඇය (මේගන්) තමන් සමග පැවැසූ බවද මෙහිදී හැරී කුමරු කියා තිබුණි. ඒත් ඇයට පිටස්තර මනෝ චිකිත්සකයකුගේ සහය ගැනීමටවත් නොලැබුණි. ඒ එවැන්නකින් රජ පවුලේ ප්‍රතිරූපයට හානියක් වේ යැයි සිතූ නිසාවෙනි. ඇතැම් විටෙකදී තමන්ට මන්දිරයෙන් පිටතට යාමට අවස්ථාව නොලැබුණු බවත් විදෙස් ගමන් බලපත්‍රය, යතුරු, රියැදුරු බලපත්‍රය ආදී සියල්ල රජ පවුලේ භාරයට ගෙන තිබූ බවත් මේගන් මෙම සාකච්ඡාවේදී කියා තිබුණි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී හැරී කුමරු කියා තිබුණේ තම මව වන ඩයනා කුමරියට වූ දේ තම බිරිඳට වෙනවා දකින්නට ඔහු අකමැති වූ බවයි.

හැරී කුමරුගේ මව වූ ඩයනා කුමරියට බ්‍රිතාන්‍ය රජ පවුල ඇතුළේ නොයෙක් දුක්ගැහැට විඳින්නට සිදු වූ බව ඉතා ප්‍රකට කරුණකි. ඒ දුක් ගැහැට කොයිතරම් දුර දිග ගියේද යත් ඇය එකල්හි විශාදයෙන් පෙළුණ බවද ප්‍රකට කරුණකි. එක් අතකින් රජ පවුලෙන් ආ කෙනහිලිකම් අතර සැමියා චාල්ස් කුමරු හා කැමිලා අතර තිබූ සම්බන්ධයද ඊට හේතු විය. කෙසේ හෝ පසුව 1996 දී ඇය චාල්ස් කුමරුගෙන් දික්කසාද වූයේද රජ පවුලේ උෂ්ණය දරාගත නොහැකි තැනය.

මේගන්ගේ පියා සුදු ජාතිකයකු වුවද ඇගේ මව කළු ජාතික කාන්තාවක් වීම ඇතැම් විට මේ කෝන්තරයට මුල් වූවා වන්නට පුළුවන. එහෙත් මේ චෝදනාව කළේ රජ පවුලේ කවරකුදැයි මේගන් මෙහිදී හෙළිදරව් කළේ නැත. ඊට පිළිතුරක් නොදීම පිළිබඳව යළිත් ඇයගෙන් ප්‍රශ්න කෙරිණ.

‘‘ඇයි ඔබ ඒ ගැන නිහඬ, ඔබ කැමැත්තෙන්ම නිහඬ වී ඉන්නවාද, කවරකු හෝ ඔබට නිහඬ වන්නට බලකර තිබෙනවාද?’’

‘‘දෙවැන්න’’ ඇය පැවැසුවාය.

අයි.ටී.වී. නාලිකාවේ රජ පවුල වෙනුවෙන් කටයුතු කරන සම්පාදකවරයකු වූ ක්‍රිස් ෂීප් පැවැසුයේ ඊළඟ සඳුදා බ්‍රිතාන්‍යයේ නාලිකාවකින් විකාශය වූ මේ වැඩසටහන මොහොතකට තමාගේ ඇඟපත පවා අප්‍රාණික කළ බවය. අනෙක් අතට මේ යුවළ බකිංහැම් මාලිගය මුදුනටම බරපතළ බෝම්බයක් හෙළා ඇතැයිද ඔහු පවසා තිබුණි. 2018 වසරේ විවාහ වූ හැරී මේගන් යුවළ රජ පවුලේ වගකීම්වලින් හා බැඳීම්වලින් නිදහස් වන බව පැවැසුයේ එක්සත් ජනදයේ නිදහස් ජීවිතයක් ගත කරනු පිණිසය.

දැන් කාරණය වඩා බරපතළ අතට හැරී තිබේ. රජ පවුලේ ලේලියකට වෙනස්කම් කිරීමෙන් ඔබ්බට එය දිග් ගැස්සී තිබේ. මේගන්ගේ පුත්‍රයාගේ සමේ පැහැය සම්බන්ධයෙන් කළ මේ වෙනස්කම වර්ණ භේදවාදය, වර්ගවාදය දක්වා වූ චෝදනාවක් වන තැනටම පත්වී තිබේ. හැරී මේගන් යුවළ හා සිට ගනිමින් සාම්ප්‍රදායික රජ පවුලට එරෙහි ඔවුන්ගේ සටනට සහය වන මහා පිරිසක්ද දැන් ලොව පුරා එක්රොක් වෙමින් සිටිති. සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් හා ඇමරිකානු කිවිඳියක වන අමන්දා ගෝමත් ද මේගන්ට සහය දක්වන මේ ජන පවුරට අයත්ය.

මෙහිදී මේගන් තවදුරටත් කරුණු දක්වා තිබුණේ තමාට එරෙහි මේ චෝදනාවලින්, වෙනස්කම්වලින් තමා බේරා ගන්නට රජ පවුල හා සම්බන්ධ කිසිවකුටත් වුවමනාවක් නොතිබුණු බවය. ඒ වෙනුවට තමාට ගැරහුම් කරන්නන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් ඔවුන් අසත්‍යය පතුරුවා හැරි බවත්ය.

‘‘මේ සියල්ල බොහොම නරක අතට හැරෙන්නට පටන් ගත්තේ අප විවාහ වුණු අලුතම වගෙයි. එතකොටයි මට තේරුම් ගියේ ඔවුන් මා​ බේරාගන්න උත්සාහ නොකරනවා පමණක් නොවෙයි. මට වෙනස්කම් කළ අය රැකගන්න බොරුත් කියනවා කියලා. එතැන කොට්ඨාස දෙකක්. රජ පවුලේ සාමාජිකයනුත්, රජ පවුල පවත්වාගෙන යන මිනිසුනුත්. ඔවුන් එකිනෙකට වෙනස් මා හිතන්නේ. ඒ හින්දයි මම කියන්නේ රැජින හැමවිටම මා කෙරෙහි අපූරු හැඟුමකින් කටයුතු කළ බව.’’



මේගන් එහිදී මහ රැජින අගය කොට තිබිණ. බ්‍රිතාන්‍ය පත්තරද මෙහිදී කොන්දේසි විරහිතව රජ පවුල වෙනුවෙන් සාප්පු ගොස් තිබුණු බවද මෙහිදී එළිදරව් විය. එරට පුවත්පත් පළ කළ කතන්දරයක් වූයේ මේගන්, එනම් හැරීගේ වැඩිමහල් සොහොයුරු පිලිප් කුමරුගේ බිරිඳ මෙන්ම කේම්බ්‍රිජ්හි ආදිපාදවරයාද වන කේට් හා ආරෝවක් ඇතිකර ගත් බවය. මේ සියල්ලේ මූලාරම්භය ඇත්තේ එතැන බැව් පවසමින් පුවත්පත් මේගන් වෙත ඇඟිලි දිගු කර තිබුණි.

‘‘ඇත්තටම එතැන තමයි තැන. ඒත් සිද්ධ වුණේ නම් ඒකේ අනෙක් පැත්ත’’ මේගන් එහිදී පැවැසුවාය.

‘‘මංගලෝත්සවයට දින කිහිපයකට කලින් මල් කුමාරියන් පිළිබඳ ගැටලුවකදී මටයි අඬන්නට සිදුවුණේ, මගෙයි හිත රිදුණේ ඇත්තටම.’’

ඉනික්බිති ඈ පැවූසුයේ ඈ රජ පවුල හා එක්වූයේ මේ කිසිවක් ගැන හාංකවිසියක් හෝ නොදැන බවය. බ්‍රිතාන්‍ය රාජකීය පවුල යනු සැබැවින්ම මෙබන්දක් දැයි කියන්නට තමාට ඒ හැටි අවබෝධයක් නුවූ බව ඇය පැවැසුවාය.

‘‘ඇත්තම කිව්වොත් මම රජ පවුලට එක්වුණේ ඒ ගැන කිසියම්ම දෙයක් ඒ හැටි නොදැනයි.’’

මේ අදහස් දැක්වීමත් සමගම බකිංහැම් මාලිගය ඇවිස්සී ගියේ කඩි ගුලක් පරිදිය. බොහෝ දෙනා ඒ පිළිබඳ තම අදහස් පළ කර තිබුණු නමුත් එළිසබෙත් රාජිනිය ඒ පිළිබඳව සිදු කළ ප්‍රකාශ කිහිපයක් ජාත්‍යන්තර මාධ්‍යවල සැලකිල්ලටත්, අවධානයටත් බඳුන් වී තිබුණි.

බකිංහැම් මාලිගය තුළ වර්ගවාදයට ඉඩ නැති බවත් හැරී කුමරු සහ සසෙක්ස්හි ආදිපාදවරිය (මේගන්) ඒ සම්මුඛ සාකච්ඡාවේදී හෙළිදරව් කළ දෑ පිළිබඳව වහා සොයා බලන බවක්ද ඇය පවසා තිබුණි. එබන්දක් පිළිබඳව ඇය මින් පෙර නොදැන සිටි බවද ආදිපාදවරියට මුහුණ දෙන්නට සිදුවූ මානසික වේදනා මෙන්ම මාධ්‍ය නිසා ඇති වූ අපහසුතා ගැනද රාජිනිය කරුණු දක්වා තිබිණි.

‘‘හැරී හා මේගන් කොපමණ පීඩනයකින් කල් ගෙව්වාදැයි මේ ආකාරයෙන් දැනගන්නට ලැබීම ගැන අප පවුලක් වශයෙන් බලවත් ලෙස කනගාටු වෙනවා. මේ කාරණා, විශේෂයෙන්ම වර්ගවාදී අදහස් ඉස්මතුවීම සම්බන්ධ කාරණය බොහොම බරපළයි. මේ සියල්ල ගැන බොහෝ උනන්දුවෙන් දැඩි උනන්දුවෙන් යුතුව පුද්ගලිකව සොයා බලන්නට අප උත්සුක වනවා’’ එළිසබෙත් රැජින පවසා තිබිණ. එමෙන්ම ඇය හැරී, මේගන් හා පුත් ආර්චි පිළිබඳ තම හැඟීම් පළ කරන්නටද මෙහිදී අමතක නොකළාය.

‘‘හැරී, මේගන් හා ආර්චි වෙනසක් නැතිවම රාජකීය පවුලේ ආදරයට පාත්‍ර වනවා.’’

වත්මන් බ්‍රිතාන්‍ය රාජකීය පවුල හා එක් වූ පළමු මිශ්‍ර ජාතික තැනැත්තිය ලෙස සැලකෙන්නේ මේගන්ය. නූපන් දරුවාගේ සමේ වර්ණය ගැන පවා කතන්දර හැදූ රාජකීයයන් ගැන ඇය තවමත් කල්පනා කරන්නේ උපේක්ෂාවෙනි. සැබැවින්ම මේ පිටුපස සිටින්නේ කවුදැයි කියන්නට ඇයට ඉඩකඩ නොතිබුණා නොවේ.

‘‘එහෙම වුණොත් එය රාජකීය පවුලට කිසිදා පියවා ගත නොහැකි හානියක් සිදු කරාවි’’ ඇය පවසා තිබුණේ එපමණකි.

ඉරිදාවේ CBS නාළිකාවෙ සහ ඊළඟ සඳුදා රාත්‍රියේ බ්‍රිතාන්‍ය ITV හරහා ජනතාව අතරට ගිය මේ වැඩසටහන ගැන පළමුව බ්‍රිතාන්‍ය රජ පවුල වෙතින් නැගුණේ දැඩි නිහඬතාවකි. කිසිවකුත් ඊට ප්‍රතිචාර දක්වන්නට හෝ අදහස් පළකරන්නට උත්සුක වූ සෙයක් නොපෙනුණි.

පසුගිය අඟහරුවාදා කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක් වෙත පැමිණි චාල්ස් කුමරුගෙන්ද මාධ්‍යවේදින් මේ පිළිබඳ ඇසූ නමුත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි බවත් අසන්නට ලැබුණි.

සැබැවින්ම මේ සම්මුඛ සාකච්ඡාව බ්‍රිතාන්‍ය රජ පවුලට මරු පහරක් වීද? බොහෝ මාධ්‍ය පවසා තිබුණේ බ්‍රිතාන්‍ය රජ පවුල ලෝකයට පෙනන හෝ පවත්වාගෙන යන මතුපිට පෙනුම ප්‍රෝඩාවක් බව හෙළිදරව් වීමේ ප්‍රබල පියවරක් ලෙස මෙය සැලකිය හැකි බවයි. ඊට එරෙහිව ඇතැමකු පවසන්නේ මහා රාජිනිය හා රජ පවුලේ කීර්තියට හා ජනප්‍රියතාවට මෙබන්දක් ඒ හැටි බලපෑමක් ඇති වන්නට ඉඩකඩ නොමැති බවකි. මේ වැඩසටහන හා සමගාමීව එක්තරා මත විමසුමක්ද සිදු කෙරිණි.

එහිදී නරඹන්නන් වෙත යොමු කෙරුණු පැනය වූයේ ඔබේ අනුකම්පාව හිමි වන්නේ කා වෙතද යන්නය. සම්මුඛ සාකච්ඡාවෙන් අනතුරුව එවේලෙහි ලැබුණු ප්‍රතිචාර සම්බන්ධ දත්ත තිරයේ දිස් විය. එහිදී ලැබුණු ප්‍රතිචාරවලින් 40% ක ප්‍රමාණයක් ලැබී තිබුණේ මහරැජින හා රාජකීය පවුල පිළිබඳ අනුකම්පාව පළ කරමින්. 24% හැරී සහ මේගන් ගැන තම අනුකම්පාව පළකර තිබුණි. තවත් 24% ක් දෙපාර්ශ්වයෙන් එකක් හෝ නොවේ ය ශීර්ෂය යටතේ මතය පළකර තිබුණි.

කෙසේ වෙතත් මේගන්ට කෙනහිලිකම් කළ මේ ආන්දෝලනාත්මක චරිතය කවුදැයි බොහෝ දෙනා එහෙන් මෙහෙන් සැක කරන්නට පටන් ගත් හෙයින් වැඩසටහනේ සම්පාදිකාව වින්ත්‍රීට ඊට මැදිහත් වන්නට සිදුවිය. ඇය පවසා තිබුණේ ඒ එළිසබෙත් රැජින හෝ පිලිප් කුමරු හෝ නොවන බවය.

මේ දෙහෝරාවක වැඩසටහන මෙහෙයවන ලද්දේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වූ ඔප්රා වින්ත්‍රී විසිනි. රජ පවුලේ පදනම දෙදරුම් කවන්නට සමත් වූ මේ ආන්දෝලනාත්මක වැඩසටහන එක්සත් ජනපදය තුළ පමණක් මිලියන 17.1 ක ප්‍රමාණයක් නැරඹූ බවක් පළවිය. එක්සත් රාජධානිය තුළදී මිලියන 12 ක පමණ ප්‍රමාණයක් එය නරඹා තිබේ.

තමනට ආරක්ෂාව, රැකවරණය ලබා නොදෙන තැනක තවත් නොරැඳී අලුත් ජීවිතයක් වෙනුවෙන් රජ මැදුර අත්හැර යන්නට තමා හා හැරී තීන්දු කළේ මෙකී හේතු නිසා බව සසෙක්ස් ආදිපාදවරිය වගකීමෙන් යුතුව පැවැසුයේ වත්මන් රාජකීය පවුලේ අසාර්ථකභාවය හා සත්‍ය ස්වරූපය හෙළි කරමිනි.

පාලිත ජයකොඩි