ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බංග්ලාදේශ සංචාරයට විරෝධය පළ කරමින් එරට පැවැත්වෙන විරෝධතා අතරවාරයේ දී 19 හැවිරිදි තරුණයෙක් මරණයට පත්විය.  පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් අතරවාරයේ දී එම තරුණයා මරණයට පත්වුණු බවත්, එම ගැටුමෙන් තවත් 20 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. හින්දු ජාතිකවාදියකු ලෙස සැලකෙන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මගේ සංචාරයට විරෝධය පළ කරමින් ඉස්ලාමිය කණ්ඩායම්වල මූලිකත්වයෙන් මෙම විරෝධතා පැවැත්වෙන බව බංග්ලාදේශ රජය පවසයි.
 



විරෝධතාවලට සහභාගී වන බොහෝ දෙනා බංගලාදේශයේ දැඩි මතධාරී ඉස්ලාමීය කණ්ඩායමක් වන හෙෆාසාත්-ඊ-  ඉස්ලාම් සාමාජිකයන්ය. බංග්ලාදේශයේ 50 වැනි නිදහස් දිනයට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉකුත් 26 වැනිදා එරටට පැමිණියේය. මෝදිට එරෙහිව විරෝධතා පැවැත්වෙන්නේ එදින සිටය.  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇති කිරිමට කටයුතු කරන බවට චෝදනා කරමින් බංග්ලාදේශයේ දැඩි මතධාරි මුස්ලිම් කණ්ඩායම් මෙලෙස විරෝධතාවල නිරතවෙයි..


පොලිසියේ වෙඩි තැබීම්වලින් සිකුරාදා පැවැති විරෝධතා අතරවාරයේ දී පුද්ගලයන් පස් දෙනකු මරණයට පත්වූ අතර සෙනසුරාදා පැවැති විරෝධතා අතරවාරයේ දී පුද්ගලයෝ හය දෙනෙක් මරණයට පත්වූහ.   මිලියන 168ක ජනතාවක් වෙසෙන බංග්ලාදේශයේ ජීවත් වන බොහෝ දෙනා මුස්ලිම් ජාතිකයෝ ය. බංග්ලාදේශයේ බොහෝ දිස්ත්‍රික්කවල විරෝධතා පැවැත්විණි. 19 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත් වූයේ  බංග්ලාදේශයේ නැගෙනහිර පෙදෙසට වන්නට පිහිටි බ්‍රහ්මන්බරියා හා ග්‍රාමීය නගරයක් වන සරෙල් හි පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුමකදීය.