moratuwa-university-issue

මොරටුව විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට ඉගැන්වීමේ කටයුතුවලින් ඊයේ (29) සිට ඉවත් වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය පවසයි.  මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් කෙරෙන සිසුන්ගේ සංඛ්‍යාව වැඩි කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති කරන ලෙසත් එසේ නොකරන්නේ නම් සිසුන් වැඩි කිරීමක් සිදු නොකරන  ලෙසත් ඉල්ලමින් හා සිසු පහසුකම් වැඩි නොකිරීම පිළිබඳව විරෝධය දක්වා ඉගැන්වීමේ කටයුතුවලින් මෙසේ ඉවත්වූ බව එම සංගමයේ සභාපති ආචාර්ය ජයතු ගුණතිලක සමරවික්‍රම මහතා පැවසීය.
 



මොරටු විශ්වවිද්‍යාල නවක සිසුන්ට ඉගැන්වීම් කටයුතුවලින් ඊයේ සිට බැහැරවීම පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.  සාමාන්‍යයෙන් පැය පහම ආවරණය වන පරිදි මොරටු විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන සිසුන් සංඛ්‍යාව එක්දහස් අටසිය විසි අටක් බව සඳහන් කළ ඒ මහතා මේ වසරේ එම සංඛ්‍යාවට තවත් සිසුන් 539 අලුතෙන් එක් කර ඇති බව පැවසීය.  ඒ අනුව සිසුන්ගේ මුළු සංඛ්‍යාව දෙදාස් තුන්සිය හැට හතක්  දක්වා වැඩි වී ඇතැයි ඔහු පැවසීය. මෙම සිසුන් 2367 ට අමතරවද විශ්වවිද්‍යාල සිසුන්  තෝරාගැනීමේ ක්‍රමවේදයට පරිබාහිරව තවත් ළමුන් 45 දෙනෙක්ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් බඳවා ගෙන ඇති බවද එයද ගැටලු සහගත බවද ඒ මහතා පැවසීය.


විශ්වවිද්‍යාල සඳහා ප්‍රතිපාදන වෙන් කිරිමේ දී දැනට අධ්‍යාපනය ලබන සිසුන්ට ද විශාල වශයෙන් අඩුපාඩු ඇති බව සඳහන් කරන ඒ මහතා දේශන ශාලා, ආපන ශාලා, නවාතැන් පහසුකම්, ක්‍රියාකාරකම් සඳහා වූ පහසුකම්වල දුෂ්කරතාවයන් විශාල වශයෙන් පවතින බවද පැවසීය.  මේ හේතුවෙන් ආචාර්යවරුන්ට පවතින ඉඩකඩ ද සිසුන් සඳහා ලබා දීමට සිදුව ඇති බව සඳහන් කළ ඒ මහතා ආචාර්යවරුන් සඳහා ඇති පහසුකම් පොදු පහසුකම් තත්ත්වයට පත්ව ඇති බවද පැවසීය.




නවක සිසුන්ට ඉගැන්වීම්වලින් බැහැර වුවද පැරණි සිසුන්ට  පවත්වාගෙන ආ විදිහටම පංති පැවැත්වෙන බවත් ඒ ආකාරයටම ඉගැන්වීම් කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවැසීය.  පසුගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් වීම මත වැඩි වෙන සිසුන්ට අපහසුතාවයන් මැද හෝ ඉගැන්වීමට කැමැත්ත පළ කර ද දිගින් දිගටම එවැනි තත්වයක් සඳහා මුහුණ දීමට අපහසු බවද ඔහු පැවසීය.


 ආචාර්යවරුන්ගේ විරෝධය ලිපි මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ මොරටු විශ්වවිද්‍යාල උප කුලපති නරජන් ගුණවර්ධන යන මහත්වරුන්ට දන්වා ඇති අතර ඔවුන්ගෙන් ලබන වසරේ සිසුන් බදවා ගැනීම් පිළිබඳව ලිඛිත ලියවිල්ලක් ලැබෙනතුරු මෙම වසරේ නවකයට ඉගැන්වීම් කටයුතු සිදු නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


එසේ මොනයම් ආකාරයක හෝ සිසුන්ගේ වැඩි කිරීමක් සිදු කරනවා නම් ඊට සාපේක්ෂව ඔවුනට ලබාදිය යුතු පහසුකම්  මෙන්ම ආචාර්යවරුන්ටද පහසුකම් ලබා දීමට කටයුතු කරන්නේ නම් විරෝධතාවය නවතා දමන බව ද ඒ මහතා පැවැසීය.  මොරටු විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවල ඉඩකඩ මදි වීම හේතුවෙන් මේ වනවිට ආචාර්යවරුන්ට එකම දේශනය වාර දෙක තුනක් පැවැත්වීමට සිදුවී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


 -රේඛා තරංගනී -