මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව ක්‍රියාත්මක ජනතා උද්ඝෝෂණ ඊයේ (08දා) දිනයේදී වඩාත් දරුණු මුහුණුවරක් ගත් බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය පෙබරවාරි 01දා සිට ක්‍රියාත්මක එරට හමුදා පාලනයට එරෙහිව මෙම විරෝධතා සංවිධානය වෙයි. මෙහිදී ඊයේ දිනයේ එරට උතුරුදිග ම්යිට්ක්යානා නුවරදී පැවැති උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ විරෝධතාකරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පළමුව පොලීසිය කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ එල්ල කළත්, පසුව ජීව උණ්ඩ යොදා ගනිමින් ජනතාවට වෙඩි තැබූ බව ඇසින් දුටුවෝ පවසති.මෙහිදී උඝෝෂණය මැඩපැවැත්වීම සඳහා මියන්මාර පොලීසිය මෙන්ම යුද හමුදාවද කැඳවා තිබූ අතර, ඔවුන්ගෙන් කවරෙකු ජනතාවට වෙඩි තැබුවේද යන්න මෙතෙක් අනාවරණය සි වී නැත. පෙබරවාරි 01දා සිට මේ දක්වා එරට තුළ ක්‍රියාත්මක මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයෝ 50දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයද පවසා සිටියි. ඊයේ දිනයේදී මෙම උද්ඝෝෂකයන් එරට යැන්ගොන් අගනුවර තුළ මෙන්ම දෙවැනි විශාලතම නගරය වන මැන්ඩලේ සහ තවත් නගර කිහිපයකදීම විරෝධතා පවත්වා ඇත.
එසේම එරට දකුණුදිග වෙරළ නගරයක් වන ඩාවේයිහිදීද උද්ඝෝෂණ පැවැත් වී ඇත. මෙහිදී එරට වෘත්තීය සමිති සංවිධානද වර්ජනයක නිරත වෙමින් මෙම විරෝධතා සමග සම්බන්ධ වී ඇති අතර, ඒ හේතුවෙන් එරට කර්මාන්තශාලා සහ බැංකු ඇතුළු ආයතන රැසක කටයුතුද අඩපණ වි තිබේ. වාර්තාවලට අනුව ක්ෂේත්‍ර නවයක් නියෝජනය කරමින් මෙම වෘත්තීය සමිති විරෝධතාවේ නිරත වෙයි. ඉදිකිරීම්, කෘෂිකාර්මික, නිෂ්පාදන ඒ අතර වෙයි. සියලුම මියන්මාර වැසියන් ලෙස තමන්ව හඳුන්වා ගනිමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වන අතර, ධුරයෙන් පහකර මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අවුන් සාන් සු කී නිදහස් කර, ජනතා ඡන්දයෙන් තේර් පත්වූ රජය යළි පිහිටුවන ලෙස ඔවුන් හමුදා පාලනයට බල කර සිටියි.
0 Comments