myanmar-japan

මියන්මාරය වෙත අයත් ප්‍රථම චන්ද්‍රිකාව ලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති භූ නිරීක්ෂණ චන්ද්‍රිකාවේ පාලනය ජපානයේ අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සියේ භාරයට පත්ව ඇතැයි වාර්තා පවසයි. මෙම චන්ද්‍රිකාව මගින් ලබාගන්නා දත්ත වර්තමාන මියන්මාර හමුදා පාලනය එරට ජනතාව මර්දනයට යොදා ගනීවි.

යන සැකය මත ජපානය මෙම චන්ද්‍රිකාව සිය භාරයට ගෙන තිබේ.ජපානයේ තාක්ෂණික සහ මූල්‍ය සහාය යොදාගනිමින් මියන්මාර රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක මියන්මාර අභ්‍යවකාශ ඉංජිනේරු විශ්වවිද්‍යාලය මගින් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කෙරිණි. ඩොලර් මිලියන 15ක පමණ මුදලක් වැයවුණු මෙම චන්ද්‍රිකාව ජපානයේ හොකයිඩෝ.විශ්වවිද්‍යාලය මගින් ඉදිකර ඇත. මෙම චන්ද්‍රිකාව සතු කැමරා මගින් මියන්මාරයේ කෘෂිකාර්මික කටයුතු සහ ධීවර කටයුතු නිරීක්ෂණය සැලසුම වී තිබේ.

කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි 01දා මියන්මාරයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මෙම චන්ද්‍රිකාවෙන් ලැබෙන දත්ත එම හමුදා පාලනය වෙත හිමිවීම සම්බන්ධයෙන් ලොවට මානව හිමිකම් සංවිධාන රැසකින් අවධානය යොමු කෙරිණි. කෙසේ වෙතත් චන්ද්‍රිකාව මගින් ලබාදෙන මෙම දත්ත රැස් කරගන්නේ ජපාන විශ්වවිද්‍යාලය මගින් බවත්, ඒවා මියන්මාර බලධාරි වෙත ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත් ජපාන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි 20දා එක්සත් ජනපදයේ නාසා ආයතනය මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටකර හැරුණු භාණ්ඩ තොගයක්ද සමග මෙම චන්ද්‍රිකාව ඒ වෙත යැවුණි.එහිදී එම මධ්‍යස්ථානයේ පිහිටි ජපාන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට අයත් කිබෝ පර්යේෂණ මොඩියුලය තුළ සවි කර තිබේ.