ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළට ඊයේ (7) උදේ පැමිණි නමුත් ඔහුගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින්ට නොලැබීම හේතුවෙන් ඔහුට විනාඩි 45ක පමණ කාලයක් එහි රැඳී සිටීමට සිදුවිය. මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානය ද විනාඩි 45ක් ප්‍රමා ද වී පිටත්ව ගිය බව ද වාර්තා වේ. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැති ඩී.වී. චානක යන මහත්වරුන් ඇතුළු 9 දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළෙන්
ඊයේ උදේ 10.00ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 651 දරන යානයෙන් ඩුබායි බලා යාමට ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.
නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය අහෝසි කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉකුත් 4 වැනිදා නිකුත් කරන ලද නියෝගය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින්ට තැපැල් මගින් යොමු කළ ද ඊයේ පෙරවරුව වනවිටත් එම නියෝගයේ පිටපතක් ඔවුන්ට නොලැබී තිබිණි.
ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතාට විදේශගත වීමට අවසර දීම ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය.
නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගුවන් ගමන් තහනම ඉවත් කළ බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරින්ට දැනුම් දීමෙන් අනතුරුව ඔහුට විදේශගත වීමට අවසර ලැබිණි. අනතුරුව නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රැගත් එමිරේට්ස් ගුවන් යානය පෙරවරු 10.45ට පමණ කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.
- ටී.කේ.පී. කපිල-
0 Comments