narangala-story

ඇය දෙදරු මවකි. එහෙත් කරුණාබර දිරිය කතකි. යතුරුපැදි අනතුරක් නිසා ස්නායු ආබාධයකට ලක්ව එතැන්වූ සැමියා වසර හයක් තිස්සේ පිටේ තබාගෙන ඔසවාගෙන යන්නේ මේ බිරිය විසිනි.  නාරංගල කන්ද පේන තෙක් මානයේ සොරණාතොට, මුලතලාව ගම්මානයේ පිහිටි ඔවුන්ගේ නිවෙස ඇත්තේ මාර්ගයට පහළිනි. හුණුකොටුවක් මැදින් පහතට බැස යා යුත්තේ අසීරු ගමනකි.   මේ ප්‍රපාතයේ සිට සැමියා පිටේ තබාගෙන උඩට පහළට රැගෙන යන මේ බිරිඳ සිය සැමියා වෙනුවෙන් කරන කැපකිරිම මෙතකැයි කිව නොහැකි තරමිය. ඩබ්ලිව්.එම්. ශ්‍යාමලී නමැති ඇය ඔවුන්ගේ කඳුළු කතාව දිගහැරියේ මෙසේය.



“මට ළමයි දෙනෙක් ඉන්නවා. ලොකු දුව 8 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පුතා තවම මොන්ටිසෝරි යනවා.  අපට හුණු කොටුවක් තිබුණා. හුණු හදලා හොඳ ආදායමක් ගත්තා. ඊට අමතරව මහත්තයා බිස්කට් ආයතනයක වැඩ කළා. දවසක් වැඩට ගිහින් එද්දි මහත්තයා මෝටර් සයිකල් එකෙන් වැටිලා තුවාල වුණා.  බදුල්ල ඉස්පිරිතාලේ නතරවෙලා බේත් කළා. සිංහල වෙදකමත් කළා.  ඒත් දවසින් දවස මහත්තයාගේ කකුල් දෙකම පණ නැතිව ගියා. ස්නායු ආබාධයක් කියල දොස්තර මහත්තුරු කිව්වා. මහත්තයට බේත් කරන්න අතේ තිබුණ මුදල් සියල්ල වැය කළා. ණයටත් මුදල් ගත්තා. ආර්ථික ප්‍රශ්න වියදම් කරන්න සල්ලි නැතිව හුණු වළත් කරගන්න බැරිව වැහිලා ගියා.


දරු දෙනාට උගන්වන්න කීයක් හරි හොයාගන්න ඕන නිසා මම දැන් ළග හුණු වළක හුණු පැකට් කරන්න යනවා. ආර්ථික ප්‍රශ්න නම් එමටයි.  ඒක අපි කොහොම හරි දරාගන්නවා.  මහත්තයා ඉස්පිරිතාලේ ගෙනියන්නත්වෙනත් ගමන් එක්ක යන්නත් මම කටයුතු කරනවා. මහත්තයා රෝද පුටුවේ ඉඳල උස්සලා පිටේ තියාගත්තම එයා මගේ බෙල්ල වටේ අත දාල  අල්ලගන්නවා. මෙහෙම තමයි අඩි 40 ක් විතර උඩට උස්සාගෙන යන්නේ. උඩට ගෙනියනවාට වඩා පහළට ගේන එක ටිකක් අමාරුයි. හැබැයි දැන් මට මේක  හොඳට පුරුදුයි. මම වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. මහත්තය සනීප කරල දෙන්න පුළුවන් කෙනෙක් උදව් කරන්න. ඒ වගේම මහ පාර අයිනේ ගේ හදාගන්න උදව් කරන්න කියලයි ඉල්ලන්නේ.” යැයි ඇය පැවසුවේ කඳුළු වගුරමිනි.

 - පාලිත ආරියවංශ-