වත්මන් ආණ්ඩුවට ප්‍රභාසංශ්ලේෂණය පිළිබඳ පාඩම් ඉගැන්වීමට තම පක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. එසේම කොටි ත්‍රස්තවාදය පරාජය කළ ආකාරයෙන්ම ආණ්ඩුවේ කැලෑ ත්රස්තවාදයද පරාජයට පත් කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (24දා) නෙළුම් පොකුණ රඟහල අසලදී පැවැති ‘හුස්ම ගන්න ඉඩදෙන්න’ පරිසර විනාශයට එරෙහි විරෝධතා ව්‍යාපාරය අමතමිනි. විපක්ෂ නායකවරයා එහිදී මෙසේද පැවැසීය.
පාඩම් ගණනාවක් උගන්වන්න අපි සූදානම් ශ්‍රී ලංකාවේ පළවෙනි සහ එකම හරිත පක්ෂය හැටියට සමගි ජන බලවේගය පරිසරය ආරක්ෂා කිරීමේ සංග්‍රාමය ආරම්භ කළා. කැලෑ සංහාරය, ත්‍රස්තවාදය මැඬපැවැත්වීමට අපි මැදිහත් වෙනවා. ගහකොළ, සතා සීපාවා වෙනුවෙන් අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එකට එක්වෙලා තියෙනවා. අපි සියලුදෙනා එකට එකතුවෙලා මේ සංග්‍රාමය ක්‍රියාත්මක කරනවා. කුරිරු කොටි ත්‍රස්තවාදය පරාජය කළා සේම කැලෑ ත්‍රස්තවාදය පරාජය කරනවා. ආනවිළුන්දාව, විල්පත්තුව, සිංහරාජය, නිල්ගල, රතුගල අද අනතුරේ. නකල්ස් රක්ෂිතය අනතුරේ, හෝටන් තැන්න අනතුරේ. මේ රටේ හැම තැනකම තිබෙන කැලෑ සම්පත විනාශ කරන කැලෑ කපන ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තියෙනවා. තමන්ගේ ගෝලබාලයන්ට අක්කර දසදහස් ගණනින් වනාන්තරවල අයිතිය බෙදල දීලා. මේ රටේ වටිනා වන සම්පත මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා විය යුතුයි.
ඒවෙනුවට එය හූරා කන යුගය අද බිහිවෙලා තියෙනවා. මේ රටේ ජනතාවට සමගි ජන බලවේගය විදිහට අපි බොහොම පැහැදිලි පණිවුඩයක් ලබාදෙනවා. කෙටි කාලයක් තුළ ජනතා සවිය තුළින්, ජනතා ශක්තිය තුළින් කැලෑ කපන ආණ්ඩුව පරාජය කරනව කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ පරාජය සහ අපේ ජයග්‍රහණය තුළ මේ රටේ වන සම්පත රැකගැනීමට අපි කටයුතු කරනවමයි. පක්ෂයක් විදියට මේ ආණ්ඩුවට ප්‍රභාසංශ්ලේෂණය පිළිබඳ පාඩම් උගන්වන්න අපි සූදානම්. උත්ස්වේදනය ගැන පාඩම් උගන්වන්න අපි සූදානම්. ඒ අයට ආපස්සට ගිහින් මේ රටේ සියලුම ප්රගතිශීලී බලවේගවලට අපි ආරාධනා කරනවා මේ කැලෑ කපන ත්රස්තවාදයට එරෙහිව අත්වැල් බැඳගමු කියලා. මතක තියාගන්න මේක අපි කැලෑව ආරක්ෂා කරගැනීමේ පළමු පියවර පමණයි. අපි මේ වගේ සාමකාමී උද්ඝෝෂණ රට පුරාම පවත්වනවා. අපි ළඟදීම පරිසර හිතකාමී සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවනවා.
0 Comments