nethma-akashmika

‘සිඳූ’ යනුදෙරණ රූපවාහිනි නාළිකාව වසර ගණනාවකට ඉහතදී විකාශනය ආරම්භ කර පසුගිය සතියේ වෙනස් කළ ටෙලි කතාවකි. එහි එන 'සිඳූ'ගේ චරිතයට පණ පෙවූ නෙත්ම ආකාෂ්මිත නම් ළමා නළුවා බොහෝ දෙනාගේ නොමඳ ආදරයට ලක්වුණි. සති කිහිපයක සිට 'සිඳූ' ටෙලිනාට්‍යය තුළ නෙත්ම දකින්නට නොලැබුණි.
ඔහු කතාවෙන් ඉවත්වූ බවත් ඉගෙනීමට මුල්තැන දුන් බවත් පුවත්පතකට පවසා තිබේ.
 
නෙත්ම මොකද දැන් පේන්න නැත්තේ?

මේ දවස්වල මම මගේ ඉගෙනීමේ කටයුතුවලට මුල්තැන දීලා තියෙන නිසා ඒ කටයුතු එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ. කොවිඩ් වසංගතය නිසා ඉගෙනීමේ කටයුතු කරන්නෙත් විවිධ බාධා අතර නිසා දැන් බාහිර කටයුතුවලට වෙලාව යොදවගන්න අමාරුයි.



ඒ කියන්නේ 'සිඳූ'ගෙන් සමුගැනීම හදිසි තීරණයක් නෙමෙයි?

කොහෙත්ම නැහැ.වසංගත තත්ත්වය නිසා පාසල් පැවැත්වෙන්නෙ නැති නිසා සේරම විෂයය නිර්දේශ කවර් කරන්නේ ඔන්ලයින් මඟින්.ඒ වැඩකටයුතුවලට කාලය යොමු කළහම මට බාහිර දේවල් කරන්න ඇත්තටම වෙලාවක් ඉතිරි වෙන්නෙම නැති තරම්.ඒ නිසා මගෙ අම්මා තාත්තා වගේම මමත් හිතුවා මේ වෙලාවේ කළ යුතු හොඳම දේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන එක කියලා.

නෙත්ම කොයිතරම් කාලයක් 'සිඳූ' ගේ චරිතයට පණ දුන්නද?

අවුරුදු පහක් විතර...


ඒ කාලය ගැන නෙත්මගේ විශේෂ මතක මොනවද?

හැම දවසක්ම මට විශේෂයි. 'සිඳූ' කියන්නේ මගෙ ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නැති සන්ධිස්ථානයක්. විශේෂයෙන් 'සිඳූ' අධ්‍යක්ෂතුමා, නිෂ්පාදක තුමා ඇතුළු මුළු 'සිඳූ'කණ්ඩායමටම ස්තුතියි කියනවා. මම රඟපෑම ගැන කිසිම හැදෑරීමක් නැතිවයි 'සිඳූ' නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ. නමුත් 'සිඳූ' කණ්ඩායමේ හැමදෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ සහයෝගය නැති වුණා නම් මට ඒ චරිතය මේ තරම් දිගු කාලයක් රඟපාන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඒ හැමෝටම ස්තුතිය පුද කරනවා.



'සිඳූ'ගෙන් වෙන්වීම ගැන නෙත්මට දුකක් නැද්ද?

ගොඩක් දුකයි. ෂූටින් ගිහාම මම වැඩිපුර ඉන්නෙ චුට්ටෙයි තරිඳුයි එක්ක.දැන් මට එයාලා මුණගැහෙන්නෙ නැහැ. වැඩිය කතා කරන්නත් ලැබෙන්නෙ නැති නිසා ඒ පාළුව ගොඩක් දැනෙනවා.


නැවත රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ?

දීර්ඝ ටෙලිනාට්‍ය නැතුව කෙටි චිත්‍රපට, කෙටි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් සහ ෆොටෝ ෂූට් එහෙම කරන්න කැමතියි. මම රඟපෑ චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගත වෙනවා. මෑතකදී ෆොටෝ ෂූට් එකකුත් කළා. හොඳ නිර්මාණයක් ලැබුණොත් කාලය කළමනාකරණය කරගෙන ඉගෙනීමේ වැඩවලට බාධා නොවන විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා.

නෙත්ම ආසාවෙන් රඟපාන්න කැමති මොනවද?

මම ගොඩක්ම කැමති රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට. මම මුලින්ම කළෙත් ඒවනෙ. හඬ කැවීම් කටයුතුත් කරලා තියෙනවා.ඕනෙම දෙයක් මම ආසාවෙන් කරනවා. අලුත් දෙයක්, වෙනස් දෙයක් කරන්න තමයි මම ගොඩක්ම කැමති.

නෙත්ම දැන් අලුත් ඉස්කෝලෙකට යනවා. කොහොමද ඒ අත්දැකීම?

කලින් මම ගියේ JMC ජාත්‍යන්තර පාසලට. දැන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 9 වසරේ ඉගෙන ගන්නෙ. මට දැන් අලුත් යාළුවො ගොඩක් ඉන්නවා. පාසලට ගිය දවසෙ ඉඳන් හැමදෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. විදුහල්පතිතුමා, ගුරුවරු, අලුත් යාළුවෝ ඒ හැමෝමට මම ස්තූතියි කියනවා.කිසිම වෙලාවක පාසලට අලුතින් ගියා කියලා මම අපහසුතාවට පත්වුණේ නැහැ.

අධ්‍යාපන කටයුතු ගැන නෙත්ම ගේ උනන්දුව කොහොමද?

සාමාන්‍ය පරිදි කරගෙන යනවා. බාහිර දෙයක් විදියට කරාටේ ඉගෙන ගන්නවා.අධ්‍යාපන වැඩකටයුතුවලට මුල්තැන දෙමින් සාමාන්‍ය­‍ෙපළ විභාගය හොඳින් සමත් වීම තමයි මගේ ඊළඟ ඉලක්කය.

දුර රටක හිටිය තාත්තා දැන් ළඟම හිඳීමත් නෙත්මට ලොකු සතුටක් නේද?

ඒ ගැන නම් මම ගොඩක් සතුටින් ඉන්නෙ. කොවිඩ් නිසා තාත්‍තා ලංකාවට එන්න පරක්කු වුණත් කොහොම හරි ආව එක අපි හැමෝටම ලොකු සතුටක්.

විද්‍යාඥයෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා කියන්නෙ ඇත්තද?

ඒක පුංචි කාලේ ඉඳලා හිතේ තිබුණු ආසාවක්. ඊට අමතරව මට ආසයි මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. අධ්‍යාපන කටයුතු කරන්නෙත් ඒ ව්‍යාපාර හීනය හිතේ තියාගෙන. රංගනය ගැනත් හදාරන්න ආසාවෙන් සහ බලාපොරොත්තුවෙන් ඉන්නවා..ඔය හැමදේම සාර්ථකව කරගැනීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

සචිනි බස්නායක
ඡායාරූප- මල්ෂාන් විජේතිලක