රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින් තිබූ මෝටර් රථයක් පෙරේදා (6) අලුයම වැල්ලවත්ත මුහුදු මාවත, රාජසිංහ මාවත අසල පාපැදියක සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුගේ ඇඟේ ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලවත්ත රාජසිංහ පාර පදිංචිව සිටි පාපැදියේ ගමන්ගත් මහරඩෙව් උදයකුමාර (57) සහ පා ගමනින් ගිය එස්. ගෝලිගම් (17) යන දෙදෙනායි.
එකම පවුලේ සහෝදරියක් හා සහෝදරයෙක් ව්‍යායාම සඳහා පෙරේදා (6) අලුයම පාපැදි දෙකකින් යමින් සිටිය දී බම්බලපිටිය දෙස සිට දෙහිවල දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය මාර්ගයේ දකුණු පස යමින් සිටි සහෝදරයාගේ පාපැදියේ ගැටීමත් සමග ඔහු මෝටර් රථයේ බොනට්ටුව මතට වැටී මීටර් දහයක් පමණ මෝටර් රථයත් සමග ඉදිරියට ගොස් මාර්ගයේ වැටී ඇති අතර මෝටර් රථය නොනවත්වා ධාවනය වී ඇතැයි පොලිසිය කියයි..
ඊට මීටර් දහයක් පමණ ඈතින් පා ගමනින් යමින් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ ද ගැටුණු මෝටර් රථය නොනවත්වා ගාලු පාර දෙසට ගොස් දෙහිවල දෙසට පලා යාමේ දී අනතුර ගැන දැනගත් මෝටර් රථ රියදුරෙකු ඔහුගේ මෝටර් රථයෙන් මඟ හරස් කර පලා යමින් තිබූ මෝටර් රථය නවතා තිබූ වූ බවත් පොලිස් නිලධාරියකු පැවැසීය. පා පැදිය පැදවූ පුද්ගලයා රෝහල් ගත කරන විට මියගොස් තිබූ අතර බරපතළ තුවාල ලද මාර්ගයේ ගමන්ගත් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ දී පැය කීපයකින් අනතුරුව මියගිය බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය .
මෝටර් රථයේ රියදුරු සහ අනෙක් පුද්ගලයා අධික ලෙස බීමත්ව සිටි බව ද පොලිසිය කියයි. සැකකාර රියදුරු වන පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරිවරයා පැද වූ මෝටර් රථය පාපැදියේ ගැටෙන ආකාරය අසල සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බව ද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල සහ නාරාහේන්පිට පදිංචිකරුවන්ය. සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
0 Comments