old-love-letter-story

අසල්වැසි වැන්දඹු කාන්තාවකට ලියු පෙම් හසුනක් තම බිරිඳට හසුවීම නිසා දබර කරගෙන නිවසින් පලාගිය 62 හැවිරිදි පුද්ගලයකු අවුරුදු 16කට පසුව රඹුක්කන දුම්රියකට පැන දිවි නසාගෙන ඇතැයි කෑගල්ල මහ රෝහලේ පැවැති මරණ පරික්ෂණයකදී අනාවරණය වී ඇත.

කෑගල්ල මහ රෝහලේ නාගරික හදිසි මරණ පරික්ෂිකා රේණුකා සුබෝධිනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය හමුවේ පැවැති 78 හැවිරිදි පුද්ගලයකුගේ හදිසි මරණ පරික්ෂණයක සාක්කි විභාගයේදී මේ බව අනාවරණය විය. මෙසේ මියගොස් ඇත්තේ මහනුවර පොලිස් වසමේ පදිංචිව සිටි තිදරු පියෙකි.   සිය දිවි නසාගන්නා විට ඔහු 78 වැනි වියේ පමණ පසුවී ඇත.

රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රිය මාර්ගයේ තිබූ හිස කඳින් වෙන්වී ගිය වයෝවෘද්ධ පුද්ගලයකුගේ සිරුරක් රඹුක්කන පොලිසිය විසින් සොයාගැනීමෙන් පසුව පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා එම පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. දිවි නසාගෙන ඇති පුද්ගලයාගේ බිරිඳ හා දරුවන් පිළිබඳ තොරතුරු සිද්ධියෙන් දින 5කට පසුව සොයාගෙන ඇත්තේ රඹුක්කන පොලිසියේ පොලිස් සැරයන් බණ්ඩාර මහතාගේ පරික්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.  මියගිය පුද්ගලයාගේ විවාහක බිරිද හා පුතකු පැමිණ සිරුර හඳුනා ගැනීමෙන් පසු හදිසි මරණ පරික්ෂක රේණුකා සුබෝධිනී මහත්මිය හමුවේ පෙරේදා (22) මෙම මරණ පරීක්ෂණය පවත්වා ඇත. එහිදී සාක්කි දෙමින් එම බිරිඳ මෙසේ පවසා ඇත.



“මීට වසර 16කට විතර කලින් සැමියා අසල්වැසි කාන්තාවකට ලියුමක් ලියා තිබෙනවා. ඒ කාන්තාවගේ සැමියා මිය ගිහින් සිටියේ. සැමියා ලියන ලද ඒ ලියුම ඇයගේ පුතකුට හමුවී මට ගෙනත් දුන්නා. 'හොර රහසේ ඈත පළාතකට පැනගොස් හොඳට ජීවත් වෙමු' කියා මගේ සැමියා ඇයට ලියා තිබුණා. මේ ලියුම ගැන සැමියාගෙන් විමසු අවස්ථාවේ ඔහු මාත් එක්ක දබරවෙලා ගෙදරින් යන්න ගියා. ඒ වෙනකොට සැමියාගේ වයස අවුරුදු 62ක් විතර වෙනවා. මිට වසර 16කට විතර කලින් ගෙදරින් පිටවෙලා ගිය සැමියා ආයෙත් කවදාවත් ගෙදර ආවේ නැහැ. මට කොහෙන්වත් හමුවුණෙත් නැහැ. අද ඔහුගේ මළ සිරුර තමා අපි දුටුවේ.

වසර 16කට පෙර සිය සැමියා අසල්වැසි කාන්තාවට ලියූ පෙම් හසුන සුරැකිව තබාගෙන සිටි සාක්‍ෂිකාරිය හදිසි මරණ පරීක්ෂිකාව හමුවේ එම ලිපිය ද ඉදිරිපත් කළාය. කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.ඩී. එස්. ජයවීර මහතා පශ්චාත් මරණ පරික්ෂණ පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළේය.  ඉදිරිපත් වූ සාක්කි හා වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරික්ෂකවරිය මෙය දුම්රියකට ගෙල තබා සිදුකරගත් සිය දිවි නසාගැනීමක් බවට තීන්දු කළාය.  රඹුක්කන පොලිසියේ සැරයන් බණ්ඩාර මහතා මෙහිදී සාක්‍ෂි මෙහෙයවූයේය. මියගොස් සිටි පුද්ගලයාගේ අවසන් කටයුතු ඔහුගේ පවුලේ අය විසින් රඹුක්කන පොදු සුසාන භූමියේදී සිදුකරන ලද බව පොලිසිය පැවසීය.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-