AstraZeneca

Oxford-AstraZeneca එන්නත ඉතා ආරක්ෂාකාරී සහ ප්‍රතිඵලදායී බව එක්සත් ජනපදයේ සිදු කළ
පර්යේෂණ හරහා තහවුරු වී ඇත.

මෙම පර්යේෂණ සඳහා ඇමෙරිකාව, පේරු සහ චිලී රාජ්‍යයන්ගෙන් 32,000කට අධික පුද්ගලයන් පිරිසක්
ස්වේච්ඡාවෙන් සහභාගී වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



තව ද ලොව පුරා කතාබහට ලක් වූ රුධිර කැටි ගැසීමේ තත්ත්වය AstraZeneca එන්නත මගින් සිදු
නොවන බව ද පර්යේෂකයෝ සඳහන් කරති.

කොවිඩ්-19 රෝගීන් තුළ රෝග ලක්ෂණ පෙන්වීම 79%කින් නතර කිරීමටත් වෛරසට ආසාදනය වූවන් බරපතළ
ලෙස රෝගාතුර වීම 100%කින් වැළැක්වීමටත් එන්නත සමත් බව එම පර්යේෂණය මගින් අනාවරණය වී තිබේ.

යුරෝපා ඖෂධ නියාමකයන් එන්නත පිළිබඳව ඔවුන්ගේ සමාලෝචනය අවසන් කර එය ආරක්ෂාකාරී සහ
ප්‍රතිඵලදායක බව සනාථ කර ඇති බැවින් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවූ සමහර රටවල් එන්නත
නැවත භාවිතය ආරම්භ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ පර්යේෂණය සඳහා සහභාගී වූ පුද්ගලයන්ගෙන් 1/5ක් ම අවුරුදු 65ට වැඩි පුද්ගලයන් වන අතර
ඔවුනට සති 4ක පරතරයක් සහිතව එන්නත් මාත්‍රා 2ක් ලබා දී ඇත.

ප්‍රියාශා හෙට්ටිහේවා