sewwandi-palmadulla

පැල්මඩුල්ල සිට ටික දුරක්  ඉදිරියට යද්දි මට තේරුම් ගියා  ත්‍රිරෝද රථයේ තිරිංග අඩුයි  කියලා. ගණේගම ඉන්ධන පිරවුම්හල අසලදී මම ත්‍රිරෝද රථය ලොරියකට ඉස්සර කිරීමට යෑමේදී රත්නපුර දෙසින් පැමිණි පෞද්ගලික බස්රථයේ එකවරම ගැටුණා යැයි 29 හැවිරිදි සෙව්වන්දි උත්පලවන්නා නම් දෙදරු මවක මරුමුවට පත් වූ අනතුරේදී ත්‍රිරෝද රථය පැදවූ ඇයගේ පියා කහවත්ත පනාවැන්නේ අතුකොරලගේ ගුණසේකර මහතා පැවසීය.  කහවත්ත මූලික රෝහලේ පැවැති හදිසි මරණයට පරික්ෂණයේදී සාක්කි දෙමින් ඔහු එලෙස කීවේය. 




පැල්මඩුල්ල දිප්පිටිගල සමනල උයන ප්‍රදේශයේ පදිංචි අතුකෝරලගේ සෙව්වන්දි උත්පලවන්නා නම් තරුණ දෙදරු මවක  මෙම අනතුරින් මරුමුවට පත්වූ අතර, ඇයගේ උකුලේ සිටි දැරියන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටින්නීය.  මියගිය සෙව්වන්දි උත්පලවන්නා මහත්මිය  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවිකාවක හා රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක ලෙසද කටයුතු කළාය.  ඇයගේ 29 වැනි උපන් දිනය ඊයේ 15 වැනිදා යෙදී  තිබූ අතර, ඇයගේ අවසන් කටයුතු සිදුවූයේ  ද මෙදිනය. පැල්මඩුල්ල හදිසි මරණ  පරීක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණි තෙන්නකෝන්  මහතා කහවත්ත මූලික  රෝහලේදී පෙරේදා 14 වැනිදා  මෙම හදිසි මරණ   පරික්ෂණය සිදුකළේය.  එහිදී සාක්කි දුන් මියගිය අයගේ පියා වන කහවත්ත පනාවැන්නේ පදිංචි අතුකොරලගේ ගුණසේකර මහතා මෙසේ පැවසීය.



මියගොස් සිටින්නේ මගේ  දියණියක්. ඇයට නිවුන්  දරුවන් සිටිනවා. දුව 13  වැනිදා අපේ ගෙදර ආවා.  පස්වරු 4.30ට පමණ  දිප්පිටිගල බලා පිටත් වුණා.  කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ ටික දුරක් යන විට මට තේරුම් ගියා ත්‍රිරෝද රථයේ තිරිංග අඩු බව. ගණේගම ඉන්ධන පිරවුම්හල  අසලදී ත්‍රිරෝද රථය  ලොරියකට ඉස්සර කිරීමට  යද්දී එකවරම රත්නපුර  දෙසින්  පැමිණි පෞද්ගලික බස් රථයක ත්‍රිරෝද රිය  ගැටුණා.  එම අනතුරින් දියණියගේ  හිස තුවාල වී තිබුණා. ඇය පැල්මඩුල්ල රෝහලට ගෙන  යන විටත් මියගොස් සිටි බව එහි සිටි වෛද්‍යවරයා පැවසුවා.  පෞද්ගලික බසයේ රියැදුරු  ඉන්දික වීරසේකර මහතා ද  සාක්කි දුන්නේය.

කහවත්ත මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය සිසිර  කුමාර දිසානායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, මියගිය අයගේ හිසට සහ පපුවට සිදුවූ තුවාල මරණයට හේතු වූ බව එහිදී නිගමනය විය.  පොලිස් පරික්ෂණ සහ මරණ පරික්ෂණයේ සාක්කි අනුව බස් රථ රියැදුරුගේ නොසැලකිලිමත් බවක් නොමැති නිසා ඔහු පොලිස් ඇප මත මුදාහැර තිබේ. ත්‍රිරෝද රථය පැදවූ මියගිය කාන්තාවගේ පියා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.


-ලසන්ත පෙරේරා- 


 
sewwandi-uthpala-athukorala

sewwandi-uthpala-athukorala

sewwandi-uthpala-athukorala