passara-accident-couple-story

පසුගියදා පස්සරදී අනතුරට පත්වූ බස් රථයේ සිට මියගිය අය ගැන විවිධ කතාන්තර තිබේ. ඒ හැම එකක්ම ශෝචනීයය. මෙම කතා අතර තවත් එක් සංවේදී කතාවක් වන්නේ මාරක බස් රථය පසුපස ලුහුබැඳගොස් ඒ වෙත නැංග යුවළක් ජීවිතක්ෂයට පත්වූ පුවතයි. මෙම යුවළ මියයන්නේ සිඟිති දියනියක මෙලොව තනිකර දමමිනි.



“තාත්තාගේ ඇස් පෙන්නන්න බදුල්ල ඉස්පිරිතාලෙට ගිය අම්මයි තාත්තයි දෙන්නම අද අපි දාලා ගිහින්.
දැන් ඉතිරිවෙලා ඉන්නේ අත්තම්මා විතරයි.”
පස්සර මාරක බස් අනතුරින් මියගිය අන්තෝනි සාමි නෝවා හා බැනට් මැඩෝනා යුවළගේ දියණිය සිය මවගේ
හා පියාගේ හදිසි වියෝව දරාගත නොහැකිව හඬමින් කීවාය. ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ පෑස්සුම්කරුවකු
ලෙස රැකියාව කළ අන්තෝනි සාමි නෝවා (32) සහ ඔහුගේ බිරිය වූ බැනට් මැඩෝනා (31) යුවළ
ලුණුගලින් මෙම මාරක බසයට ගොඩ වී ඇත්තේ අන්තෝනි සාමි නෝවාගේ ඇසක ආබාධයක් සඳහා
ශල්‍යකර්මයක් කරගැනීම සඳහාය. දරු තිදෙනකුගේ මවුපියන් වූ අන්තෝනිගේ වැඩිමහල් දියණියගේ වයස
අවුරුදු 9කි. 8 හැවිරිදි පුතකු සහ අවුරුදු 4ක දියණියකද සිටින මේ යුවළට ලුණුගලදී මෙම බස් රථය
මඟහැරී ඇතත් දෛවයේ සරදමකට මෙන් ඔවුන් ත්‍රිරෝද රියකින් බස් රථය පසුපස හඹාගෙන ගොස් අතරමඟදී
බසයට ගොඩ වී ඇත්තේ අවාසනාවන්ත අයුරිනි.

අනතුරින් අඹුසැමි යුවළ මියගිය අතර අවුරුදු 10ට අඩු දරුවන් තිදෙනාගේ භාරකාරිත්වය පැවැරී ඇත්තේ
ඔවුනගේ මිත්තණියටයි.



මියගිය යුවළගේ අවසන් කටයුතු 21 වැනි දින ලුණුගල ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මැද
සිදුවද්දී තම මව හා පියා මියගිය වගක්වත් නොතේරෙන අන්තෝනි සාමිගේ කුඩා දරුවන් මිත්තණියට තුරුලු වී
වික්ෂිප්ත දෙනෙත්වලින් බලා සිටිනු දක්නට ලැබිණි.

(ඇල්ල - සුලක්ෂ පියතිස්ස, බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන)