passara-accident-updates
Sunday 7 am
පස්සර ප්‍රදේශයේ මාරක බස් රථ අනතුරින් පසු පළාගොස් සිටි ටිපර් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය වාර්තා කරයි. ඔහු පස්සර ප්‍රෙද්ශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු වන අතර ටිපර් රථයේ වැලි ප්‍රවාහනය කරමින් සිට ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමත්ව සිටියේද යන්න ගැන පරීක්ෂා කරන බව පොලිසිය පවසා ඇත.
Saturday 8pm
පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි කරමින් ලු‍ණුගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ බස් රථ අනතුරෙන් පසු බස් රථයට ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු පළාගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සොයා පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙයි. 
අද අනතුරට පත්වූ බස් රථය පැදවූ රියදුරා මරණයට පත්ව ඇති බව මුලින් සැක කළද රියදුරු අසුන අසළදී හමුවූ මළ සිරුර වෙනත් අයෙකුගේ බව හෙළීවූ අතර රියදුරු තුවාල ලබා සිටියවුන් අතරින් හමු විය.


මෙම රියදුරා බිරිඳට අසනීප වීම හේතුවෙන් නිවාඩු ලබා සිට පැමිණ අද බස් රථය ධාවනය කර ඇති අයකු බව වාර්තා විය.  මෙම රියදුරා බස් රථය ධාවනය කරන අවස්ථාවලදී මීට පෙර අනතුරු සිදුවී නොමැති බවත් ඊයේ ඔහු බස් රථයේ සේවය නොකළ ද බස් රථයේ ගමන් කර ඇති බවත් බස්රථයේ හිමිකරු කියා තිබේ. මෙම රියදුරා ලුණුගල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි නතරවී බස් රථයේ සේවය කරමින් සිටි අයෙකි. බස් රථයේ සේවයට රියදුරන් තුන්දෙනෙකු සිටින බවත් කොන්දොස්තරවරුන් දෙදෙනෙකු ද සිටින බවත් හිමිකරු ප්‍රකාශ කර තිබේ.
අද අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අය අතර පාසල් ගුරුවරයෙක් සහ පෙර පාසල් පුහුණු ඩිප්ලෝමාධාරින්  දෙදෙනෙකුද සිටින බව වාර්තා විය.
ළමයින් පස් දෙනෙකුද ඇතුළුව 33 දෙනෙකු අනතුරෙන් තුවාල ලැබූ අතර, පිරිමි 20 දෙනෙකු සහ කාන්තාවන් 13 දෙනෙකු ඒ අතර විය.
අනතුරෙන් මියගිය අය ලු‍ණුගල සහ පස්සර අතර පිහිටි යපම්ම, හොප්ටන් සහ මීදුම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා විය.
 ප්‍රදේශවාසීන් මැදිහත්වී තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ අතරවාරයේ, කඳු මුඳුනේ සිට ප්‍රපාතයට ගලක් පෙරලීමෙන්ද පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබු බව වාර්තා විය.



මෙම අවාසනාවන්ත අනතුරට එක් හේතුවක් වූ මාර්ගයේ කොටසක් අවහිරවූ ගල් පර්වතය ලු‍නුගල - බදුල්ල මාර්ගයට පෙරලි මේ වනවිට මාස 6ක් පමණ ගත වී ඇති මුත් එය ඉවත් කිරීමට බලධාරීන් පමාවී තිබුණි.
 බස්රථය ප්‍රපාතයට පෙරලු‍නු ස්ථානයේ ඇති අවදානම ගැන කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් මීට පෙර බලධාරීන් ගෙන නොතිබූ අතර අනතුරින් පසු එහි අනතුරු ඇඟවෙන සංඥා සවිකරන අයුරු සවස වාර්තා විය.