passara-accident-updates

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවුණ අනතුරේ බස්රථයේ රියදුරා මියගිය බවට අනතුර සිදුවූ අවස්තාවේ වාර්තා පළවූයේ රියදුරු අසුනේ සිටි අයගේ හමුවූ මළ සිරුර නිසාය.


නමුත් පසුව වාර්තාවූයේ රියදුරු මියගොස් නැති බවත් ඔහු තුවාලකරුවන් අතර සිටි බවත්ය. මේ වෙනස ගැන ඇතිවූ සැකය නම් බස් රථය එම අවස්ථාවේ පදවමින් සිටියේ වෙනත් කෙනෙකුද යන්නයි.
බස් රථයේ අයිතිකරු පවසා ඇත්තේ සිද්ධියට පෙරදාත් මෙම රියදුරු බස් රථයේ ගිය නමුත් ඔහු බස් රථය පැදවූයේ නැති බවයි. බස් රථයේ ඔවුනගේ ඥාතියෙක් පුහුණු රියදුරෙකු ලෙස කටයුතු කළාද යන සැකය පැනනැගී ඇත.
අනතුරක් සිදුවූ පසුව බස් රථයක රියදුරු පුහුණුව ලබන්නෙකු සේවය කළ බවට හෙළිවීම ගැටලු මතුකරන්නක් විය හැකි නිසා නියම රියදුරු වගකීම ගත්තාද යන සැකයක් පැනනැගී ඇත.

මේ වනවිට රථය පැදවූ බවට පිලිගත් රියදුරු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය වන අවස්ථාවේ ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් හෝ මත්පැන් ලබාගෙන තිබුණේ ද යන්න හෙළි කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
මේ සඳහා ඔහුගේ මුත්‍රා සහ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථ රියැදුරකු අත්අඩංගුවට ගත් පසුව ඔහුගෙන් ප්‍රකාශ ලබාගනිමින් පවතී.