පොලිස් භූමිය අලුත්වැඩියා කිරීමට බව කියමින් වැලි ජාවාරමේ යෙදෙන පුද්ගලයන්ගෙන් රුපියල් 50,000ක
මුදලක් ලබාගෙන එම මුදල තමන්ගේ පෞද්ගලික මෝටර් රථය අලුත්වැඩියා කිරීමට යෙදවූ දකුණු පළාතේ
පොලිසියක ඕ.අයි.සී. කෙනකු පිළිබඳ පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.
මෙම පොලිස් ස්ථානාධිපතිවරයාටද වැලි ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කොට ස්ථානාධිපතිවරයාට
ගෙනැවිත් දුන් එම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුටද එරෙහිව මෙම විමර්ශනය අරඹා ඇත.
පොලිස් ස්ථානය නඩත්තු සඳහා පිටස්තර පුද්ගලයන්ගෙන් මුදල් එකතු කිරීමට තහනම් බවට පොලිස්පතිවරයා
විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් මඟින් දන්වා තිබුණද එම නියෝග තඹ සතේකට
මායිම් නොකළ එම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනා ප්‍රදේශයේ වැලි
ජාවාරමේ යෙදෙන තුන්දෙනකුගෙන් මෙම මුදල් එකතු කොට ඇතැයි වාර්තාවේ.
එම පොලිස් කොට්ඨාසය භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අර්ධ වාර්ෂික පරීක්ෂණය පවත්වා ඇත්තේ
මෙම වසරේ මුල් භාගයේය. ඒ සඳහා පොලිස් භූමිය හා ගොඩනැඟිලි අලුත්වැඩියා කොට තීන්ත ආලේප කිරීම
බොහෝමයක් පොලිස් ස්ථාන භාර ස්ථානාධිපතිවරුන් විසින් සිදු කරනු ලබයි.
ඒ අනුව දකුණු පළාතේ පිහිටි මෙම පොලිසියේද භූමිය හා ගොඩනැඟිලි තීන්ත ආලේප කිරීමට කටයුතු යොදා
ඇත. ඒ සඳහා මෙම පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනා වැලි ජාවාරමේ යෙදෙන පුද්ගලයන්
තිදෙනකුට මේ බව පවසා රුපියල් පනස්දහසක මුදලක් එක්කාසු කරගෙන ඇත.
එහෙත් එම මුදලින් පොලිසියේ කිසිදු නඩත්තුවක් සිදුනොකොට ස්ථානාධිපතිවරයාගේ මෝටර් රථය අලුත්වැඩියා
කිරීමට එම මුදල යොදාගෙන තිබේ.
මේ අතර අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා මෙම කොස්තාපල්වරුන් දෙදෙනා දිනපතා ‘119’ රාජකාරියේ
පමණක් යොදවන බවත් මොවුන් ප්‍රදේශයේ වැලි ජාවාරම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි එසැණින් එම
ජාවාරම්කරුවන්ට ලබාදෙන බවත් රාත්‍රි කාලයේ එම ජාවාරම්කරුවන් හමුවී මුදල් සහ මත්පැන් සාද
පැවැත්වීම සිදු කරන බවත් වාර්තා වී තිබේ.
අදාළ පොලිසියේ කීර්තිනාමයට හා පොලිස් දෙපාර්තමේන්තුවට මෙවන් නිලධාරීන් නිසා දැඩි හානියක් ඇතිවන
බැවින් මේ ගැන විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම වෙතද පැමිණිල්ලක් ලැබී ඇති බව මේ පිළිබඳව කළ විමසීමේදී එහි
සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කී අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් සිදුකර ගෙන
යන බවත් ඉන් අනතුරුව එම විමර්ශන ලිපිගොනු අල්ලස් කොමිසම වෙත ලබාදෙන බවත් ඒ මහතා කියයි.
කීර්ති මෙන්ඩිස්
0 Comments