pragna-bandu

සරසවි අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ට මහපොළ ශිෂ්‍යත්වයෙන් ශිෂ්‍යාධාර ලැබීමේ ක්‍රමයක්
සේම උසස් පෙළ හදාරන අසරණ සිසු දරු දැරියන්ටද තම අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ශිෂ්‍යත්ව
ක්‍රමයක් ආරම්භ කිරීම වෙනුවෙන් මෙරට සියලුදෙනාගේ සහාය ලබාදෙන ලෙස වෙළෙඳ අමාත්‍ය ආචාර්ය
බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ උසස් පෙළ තාක්ෂණ විෂය හදාරන සිසු දරුවන් වෙනුවෙන් නව ශිෂ්‍යත්ව
අරමුදලක් පිහිටුවීමේ සමාරම්භක උත්සවයට ඊයේ (16දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී
එක්වෙමිනි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනය යෙදී තිබූ ඊයේ (16දා) මෙම ශිෂ්‍යත්ව ක්‍රමය
ආරම්භ කළ අතර ‘ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල’ ලෙස එම ශිෂ්‍යත්ව අරමුදල නම් කර තිබිණි.



මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගි වූ අතර මෙම
ශිෂ්‍යත්ව අරමුදල් භාරයට අස්සන් තැබීම අග්‍රාමාත්‍යවරයාත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාත්,
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාත් අතින් සිදුවූහ.

ඒ අනුව මෙම ශිෂ්‍යත්ව අරමුදල බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස
රුපියල් ලක්ෂ 100ක් සමඟින් ඊයේ (16දා) ආරම්භ විය.

මහ සංඝරත්නය නියෝජනය කරමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ඇල්ලේ ගුණවංශ හිමි, මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු සංඝරත්නය මේ සඳහා එක්ව සිටියහ.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර,
පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහත්වරු සහ ව්‍යාපාරික ප්‍රජාව, විශ්වවිද්‍යාල මහාචාර්යවරු,
ආචාර්යවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙසේද කීය.

“අ.පො.ස. උසස් පෙළ සඳහා තාක්ෂණ විෂයන් හදාරන දක්ෂ සිසුන් සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා
දීමට හැකිවීම පිළිබඳ මා ඉතා සතුටුවනවා. ඒ අනුව මසකට යම් මුදල් ප්‍රමාණයක් ශිෂ්‍යත්වයක් ලෙස
ලබාදීමට අප තීරණය කර තිබෙනවා. එය මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය හා සමානවම ලබාදීමට අප කටයුතු
කිරීමට සූදානම්.

අප අද මේ ශිෂ්‍යත්ව මුදල ලක්ෂ 100කින් ආරම්භ කිරීමට සූදානම්.  එය අනාගතයේදී රජය විසින් සහතික
වන බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිල්ලූ ප්‍රාග්ධනයක් ලෙස තැන්පත් කරන්නට අප සූදානම්.

ඒ මුදලින් අවම වශයෙන් වාර්ෂිකව ශිෂ්‍යයන් 100කට මසකට රු.1000 බැගින් ලබාදීමට හැකියාව
ලැබෙනවා. ජීවත්වීමට අමාරු අහිංසක ලාංකික දූ දරුවන්, ශිෂ්‍ය පරම්පරාව වෙනුවෙන් මේ මුදල අපි
ලබාදෙනවා.

තොරතුරු තාක්ෂණය, ඉන්ජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය වැනි විෂයයන් හදාරන දරු දැරියන්ට
තමයි අපි මේ ශිෂ්‍යත්ව ක්‍රමය ලබාදීමට සූදානම් වී සිටින්නේ. මා සිතනවා මේ ශිෂ්‍යත්ව ක්‍රමයට
මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව හා දැන උගත්කමක් ඇති සියලු දෙනා සහයෝගයක් ලබාදේවි කියලා.

මීට වසර 46කට පෙර මම රචනා කළ ග්‍රන්ථයක මම සඳහන් කළා පිළිගැන්වීම මාගේ මෑණියන් පිළිබඳව.
මා මිනිසෙක් කිරීමෙහිලා උත්තරීතර පරිශ්‍රමයක යෙදුණු හා යෙදෙන ආදරණීය අම්මාට කියලා තමා ඒ
පොත පිළිගැන්වූයේ.

ඒ කෘතියේ මා සඳහන් කළ අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවට. මොකද නිදහස් අද්‍යාපනය
නිසා සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වන සිසුන්ට ඊට සරිලන රැකියාවක් නොලැබීම පිළිබඳ මා සඳහන් කළා.

අධ්‍යාපන ක්‍රමයක් මඟින් උගතුන් බිහිවන්නේ නැතිනම් එම අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් තිබෙනවා. ඒ
නිසා එය වහා ප්‍රතිසංවිධානය කළ යුතුයි. එය මම සඳහන් කළේ අවුරුදු 46කට පෙරයි. එම අවුරුදු 46
තුළ කන්නන්ගර මහතා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වුණේ නැහැ.

නමුත් මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මට හැකියාව ලැබුණා උගතුන් බිහිනොවන ක්‍රමයක් වෙනුවට
විභාග සමත් ජීවිතය අසමත් ක්‍රමය වෙනුවට තාක්ෂණ විෂය ධාරාවක් හඳුන්වා දීලා අධ්‍යාපන ක්‍රමයේ
වෙනසක් ඇති කිරීමට මට හැකියාව ලැබුණා. ඒ අනුව අපි උසස් පෙළ සඳහා තාක්ෂණවේදී විෂය ධාරව
හඳුන්වා දුන්නා.

පරිගණක 40කින් යුත් විද්‍යාගාරයක්, පරිගණක 20කින් යුත් රසායනාගාරයක්  දුරස්ථ අධ්‍යාපන ඒකකයක්
සහිත මහින්දෝදය  විද්‍යාගාර දහසක් එක වර්ෂයක් තුළදී බිහි කරන්නට අපට හැකියාව ලැබුණා.

එහි දෙවැනි අදියර ලෙස ඉන්ජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය තාක්ෂණය සඳහා විද්‍යාව යනුවෙන්
විෂයන් 3ක් හඳුන්වා දෙන්නත් කටයුතු කළා. මේවා කරන්න යෑමේදී අපට විශාල ප්‍රශ්නවලට මුහුණ
දෙන්නටත් සිදුවුණා. මොකද පරණ තත්ත්වයෙන් මිදීමට සමහරු කැමැත්තක් දැක්වූයේ නැහැ. අපට ලොකුම
ගැටලුව වුණේ මේවාට මුදල් ලබා ගැනීමටයි. නමුත් එවකට ජනපති හා මුදල් අමාත්‍යවරයාව සිටි මහින්ද
රාජපක්‍ෂ මහතා 2013 වර්ෂයේදී මේ සියලු දේවල් ආරම්භ කිරීමට මුදල් නිර්දේශ කළා. එතුමා එහෙම
නොකළා නම් ලංකාවේ කවදාවත් තාක්‍ෂණවේදී විෂය ධාරාවක් හඳුන්වාදීමට හැකි වන්නේ නැහැ.



ඉන් පසු මේ විෂය ධාරාව විශ්වවිද්‍යාල පද්ධතිය  සඳහා ගෙනයෑමට එවකට උසස් අධ්‍යාපන ඇමැති
එස්.බී. දිසානායක මහතා විශාල මෙහෙයක් ඉටු කළා.

තාක්‍ෂණ පීඨයක් ඇති කරන්නට එදා ඇතැම් අය එකතු වුණේ නැහැ. නමුත් විදේ‍යාදය විශ්වවිද්‍යාලයේ
එය ආරම්භ කිරීමට අපට හැකි වුණා. අද වන විට විශ්වවිද්‍යාල 11ක මේ තාක්‍ෂණික පීඨ ආරම්භ කර
තිබෙනවා.

එදා මේ වෙනස්කම් කරන විට ඇතැම් පාර්ශ්ව පාසල් දරුවන්ගේ මවුපියන් පාරවල්වල නිදිකෙරෙව්වා. ඒ
ද්විතීයික පාසල් දහස හදන විට පාසල්වල ප්‍රාථමික අංශ අයින් කරනවා ප්‍රකාශ මුලට දමල. එක
දවසක් දැරණියගල පාසලකට යන විට එහි දරුවෙක් මට කෑගහල කිව්වා අධ්‍යාපන ක්‍රමය වනසන බන්දුල
ගෙදර පල කියලා. මම ඇසුවා ඇයි එහෙම කියන්නේ පුතා කියලා. ඒ දරුවා කිව්වා ඇමැතිවරයා
අධ්‍යාපන ක්‍රමය වනසනවා කියලා. ඒ වගේම අධ්‍යාපනය වනසන බන්දුල, එස්.බී. ගෙදර පල කියලා
පෝස්ටර් ගසා තිබුණා.

මම ඒ ගැන කිව්වා මම පරක්කු වෙලා ගෙදර යන නිසා මගේ දයාබර බිරිය කාටහරි මුදල් දීලා ඔය
විධියට පෝස්ටර් ගසා තිබෙනවා කියලා.

නමුත් අද මම සතුටු වෙනවා අද ශිෂ්‍යයන් අතර වඩාම ජනප්‍රිය විෂය ලෙස තාක්‍ෂණ විෂයධාරාව
පත්වී තිබෙනවා. අද පාසල් ඉන්ජිනේරු කාර්ය භාරය, සිවිල් ඉන්ජිනේරු කාර්යය භාරය කිරීමට පාසල්
දරුවන්ට පාසල්වල යොමු වී තිබෙනවා.

වාඩ ලෝකයට අවශ්‍ය දරුවෙක් අද පාසලෙන් බිහි වෙලා තිබෙනවා.

ජාතික විශ්වවිද්‍යාලයෙනුත් එවැනි රටට වැඩ ඇති දැයට හිත ඇති දරුවකු බිහිවේවි කියා මා සිතනවා.

මට සිතෙනවා තව වෙසක් පෝය 30ක් නම් පන්සල් යන්න බැරි වෙයි කියලා. ඒ නිසා එම පෝය 30ට
ප්‍රථම අනාගත පරම්පරාවට උදවු කිරීම පරම යුතුකමක් ලෙස සලකලා ලක්‍ෂ 100කින් ආරම්භ කරන මෙම
අරමුදල අනාගතයේදී දැවැන්ත අරමුදලක් බවට පත් කරන්නට හැකියාව ලැබේ කියා මා සිතනවා. ඉන්
නූපන් පරම්පරාවට, උපන් රටට සේවයක් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මා සිතනවා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය