ramesh-pathirana

මෙරට ජනතාවට ලබාදෙන්නේ යුරෝපයේ තහනම් කර ඇති ඇස්ට්‍රාසෙනකා එන්නත් කාණ්ඩය නොවන බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (16) පැවසීය. එබැවින් මෙරට භාවිත කරන එන්නත් සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

යුරෝපයේ රටවල් කිහිපයක් භාවිතය නවතා ඇත්තේ ඇස්ට්‍රාසෙනකා එක් එන්නත් කාණ්ඩයක් පමණක් බවත් එම එන්නත් කාණ්ඩය මෙරටට ලැබී නැති බවත් ඇමතිවරයා කීවේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. එබැවින් මෙරට ජනතාව එන්නත් ලබාගැනීමට බියවිය යුතු නැතැයි කී ඇමතිවරයා එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වන විට ඉතා සාර්ථකව සිදුවන බව ද පැවසීය. කොවැක්ස් පහසුකම යටත්තේ ලැබුණු එන්නත් ද වයස 60ට වැඩි වැඩිහිටියන්ට ලබාදෙමින් ඇතැයි කී ඇමතිවරයා තවත් එන්නත් ප්‍රමාණයක් ඉදිරියේදී ලැබීමට නියමිත යැයිද කීවේය.මේ වන විට කොවිඩ් තත්වය සාර්ථක ලෙස පාලනය කරමින් තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය තව මාස දෙකක් තුනක් තුළ පාලිත තත්තවයකට රැගෙන ඒමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් ඇමති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
 (ඩයනා උදයංගනී)