raneetha-gnanaraja

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව වාර්ෂිකව පිරිනමන ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට මෙවර (2021) ශ්‍රී ලාංකික නීතිඥවරියක හා සිවිල් ක්‍රියාකාරිනියක වන රනීතා ඥානරාජා මහත්මිය තේරී ඇතැයි එම රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ලොව පුරා ධෛර්යවත් කාන්තාවන් අගැයීමට පත්කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වන මෙම සම්මාන උළෙලේ සමාන ප්‍රදානෝත්සවය ලෝක කාන්තා දිනය යෙදී ඇති අද (08) දින එරට වේලාවෙන් පෙරවරු 10.00ට ඇමෙරිකා ජනපති ආර්යා ජිල් බයිඩන් හා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බව ද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් වේ. ඒ අනුව ශ්‍රී ලාංකික නීතිඥවරිය ද සමඟ බෙලරෑස්, මියන්මාරය, කැමරූන්, චීනය, කොළොම්බියාව, කොංගෝ රාජ්‍යය, ගෝතමාලාව, ඉරානය, නේපාලය, සෝමාලියාව, ස්පාඤ්ඤය, තුර්කිය හා වෙනිසියුලාව යන රටවල්වලින් තෝරා ගනු ලැබූ ධෛර්යවත් කාන්තාවන් 14 දෙනකු මෙවර මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.


මෙවර ජාත්‍යන්තර ධෛර්ය සම්පන්න කාන්තාවට හිමි සම්මානය මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුක්තිය, සාමය හා ලිංගික සමානාත්මතාවය වෙනුවෙන් ඔවුන් කළ මෙහෙය අගයා පිරිනැමීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ රනීතා ඥානරාජා මහත්මිය තර්ජන හා අභියෝග මධ්‍යයේ වුව ද රටේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිඥවරියක ලෙස කටයුතු කරන්නියක බවය,

 බලහත්කාරයෙන් අතුරුදන්වීම්වලට ලක්වූවන් සහ නීතියේ පිළිසරණක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් වගකිවයුතු සහ යුක්තිය වෙනුවෙන් නීතිඥ රනීතා ඥානාරාජා සිය වෘත්තිය කැප කර ඇති තැනැත්තියක යැයි ද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එසේම ඇය නොමිලේ නීති ආධාර සහ ඒ ආශ්‍රිත සේවාවන් ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටත් වසර ගණනාවක් තිස්සේ කිසිදු චෝදනාවකින් තොරව රඳවාගෙන සිටි පිරිස්, ගැටුම්වලින් පෞද්ගලිකව පීඩාවට පත් වූ සහ වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් සමඟ වැඩ කිරීමේ අත්දැකීම් මත පදනම්ව, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකිය ජනගහනය සඳහා යුක්තිය සහ වගවීම කෙරෙහි කැපවීමක් කරන තැනැත්තියක බව ද නීතිඥ රනීතා ඥානරාජා මහත්මියට අදාළ සම්මානය සඳහා තෝරා ගනිමින් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 (තිළිණි ද සිල්වා)