ranjan-hirunika


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට අද වරෙන්තු නිකුත් කළේය.





2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් එසේ වරෙන්තු නිකුත් කර පැය කිහිපයකින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය.


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට මාස එක හමාරක් වයසැති බිළිඳෙකු සිටින බවත් ඇය අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණ රැඳී සිටි බවත් පැවසුවේය.



එහෙත්  නිසි වේලාවට අධිකරණ ශාලාවට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව අයදින බව කී නීතිඥවරිය මින්මතුවට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කළ තිබු වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර ඇප මත මුදාහැරීමට නියම කළේය.

ඉන් මතුවට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මෙහිදී විනිසුරුවරයා විසින් ප්‍රතිකාරයට අවවාද කර තිබේ.

නඩුව නැවත ජුනි මස 17 වනදා කැඳවීමට නියමිතය.