ranjan-phone-prison

රන්ජන් රාමනායක මහතා රඳවා තිබෙන අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ වයි (Y) විශේෂ සිරමැදිරිය
අසල භූමියෙහි රහසිගතව වළ දමා තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක් බන්ධනාගාර බුද්ධි අංශ
නිලධාරීන් විසින් ඊයේ (15දා) සොයාගෙන තිබේ.



සිරගතව සිටින රාමනායක මහතාට ලබාදීම සඳහා කිසිවකු විසින් එම දුරකථනය ඔහු රඳවා සිටින සිරකුටිය
අසල වළ දමා තිබෙන්නට ඇද්ද යන්න පිළිබඳව බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් විශේෂ
විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

ඕනෑම ජංගම දුරකථනයක ඇතුළත 'ඉමි' අංකයක් සඳහන් කර තිබුණද මෙම දුරකථනය සොයාගන්නා විට එහි
එවැනි අංකයක් සඳහන්ව තිබී නොමැති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතාගෙන් විමසූ
අවස්ථාවේදී ඔහු කියා සිටියේ බන්ධනාගාර බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ඊයේ පෙරවරුවේදී මෙම
දුරකථනය සොයාගෙන ඇති බවය.

සොයාගත් දුරකථනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත
ලබාදීමට පියවර ගත් බවද පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම දුරකථනය සිරගතව සිටින
රන්ජන් රාමනායක මහතාට ලබාදීමට තිබූ එකක්ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවය.


කුමුදු උපුල් ශාන්ත