ranjan-selfie

බන්ධනාගාර ආඥා පනතේ සඳහන් නීති රීති උල්ලංඝනය කරමින් ‘සමගි ජන බලවේගය’ පාර්ලිමේන්තු මන්ත්‍රි
හර්ෂණ රාජකරුණා මහතා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් රන්ජන්
රාමනායක මහතාට අමුත්තන් හමුවීම හා බන්ධනාගාරයේ නීත්‍යනුකූල දුරකථන භාවිත කිරීම සති දෙකකට
තහනම් කර තිබේ.



රාමනායක මහතා රඳවා සිටින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර විනය අංශය මඟින් ඔහු කළ ක්‍රියාවට
එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඔහුව එහි විනය ශාලාවට කැඳවා චෝදනාව සම්බන්ධයෙන්
වැරැදිකරුද නිවැරැදිකරුද යන්න පිළිබඳව විමසීමේදී ඔහු එසේ වරද පිළිගැනීම නිසා එම දඬුවම ලබාදීඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ
බන්ධනාගාර දෙපාර්තමේන්තු ආඥා පනතේ සඳහන් 78 වගන්තිය අනුව ඔහු කළ වරදට එසේ දඬුවම් ලබාදී
ඇති බවත් ඒ අනුව සති දෙකක් යනතුරු කිසිදු අමුත්තකුට ඔහුව හමුවීමට පැමිණීම තහනම් බවත් බන්ධනාගාර
දෙපාර්තමේන්තුව මඟින් නීත්‍යනුකූලව ලබාදෙන දුරකථන පහසුකම්ද සති දෙකකට තහනම් කර ඇති බවත්ය.

බන්ධනාගාරගතව සිටින රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා ඉකුත් 9දා අඟුණුකොළපැලැස්ස
බන්ධනාගාරය වෙත ගිය පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා රාමනායක මහතා සමඟ සෙල්ෆි
ඡායාරූපයක් ගෙන ඔහුගේ ෆේස්බුක් ගිණුමට දැමීමෙන් පසු එම සිද්ධිය සමාජගතව තිබිණි.

කුමුදු උපුල් ශාන්ත