පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එම මන්ත්‍රී ධුරය තවත් දින තිස්පහකින් ඉබේම අහෝසි වී යන්නේ යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.  කිසියම් මන්ත්‍රීවරයකු අඛණ්ඩව මාස තුනක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය ඉබේම අහෝසි වී යන බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන්නේ යැයි ද එම නිලධාරීහු ප්‍රකාශ කරති.  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජන් රාමනායක මන්ත්‍රීවරයාට වසර හතරක බරපතළ සිර දඬුවමක් නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 12 වැනිදාය. එදින සිට ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූ අතර රාමනායක මහතා මැතිසබයට නොපැමිණි කාලය මාස තුනක් සම්පුර්ණ වන්නේ ලබන අප්‍රේල් මස 12 වැනිදාටය.




මේ අතර, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට තවත් මාස තුනක නිවාඩුවක් ලබා දෙන්නැයි ඉල්ලමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට අද (9) යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට මැතිසබයට පැමිණීමට අවසර දෙන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවල අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළහ.  විපක්ෂය මේ ඉල්ලීම් කළ අවස්ථාවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් පැවැසුවේ අධිකරණයේ තීන්දුවක් ලැබෙනතුරු තමාට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සභාවට කැඳවිය නොහැකි බවයි. සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා දැනට රඳවා සිටින්නේ තංගල්ල අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේය.


-සුජීත් හේවාජුලිගේ-