rishard-wimal

කොළඹ පැවැති "ඉස්ලාම් අන්තවාදය හා පාස්කු කොමිසමෙන් ඔබ්බට" නමැති සම්මන්ත්‍රණයේදී සිදු කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන හිටපු ‍ ඇමැති රිෂාඩ් බදියුදීන්ට අපහාස වන ආකාරයේ අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ නිකුත්කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් අමාත්‍ය විමල් වීරවංශ සහ විද්‍යුත් මාධ්‍ය ආයතන තුනක් වෙත කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ ඊයේ (16දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.  හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසුව කොළඹ දිසා විනිසුරුවරයා විසින් ලබන 30 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.



අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින දෙරණ මැක්රෝ එන්ටර්ටේන්මන්ට් සමාගම, ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං සමාගම සහ ඊ.ඒ.පී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් යන මාධ්‍ය ආයතනවලට එරෙහිව ද මෙම වාරණ නියෝගය බල පැවැත්වේ.

රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 09 වැනි දා කොළඹ පැවැති "ඉස්ලාම් අන්තවාදය සහ පාස්කු කොමිසමෙන් ඔබ්බට" නමැති සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ තම සේවාදායක හිටපු ඇමැති රිෂාද් බදියුදීන් මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බව ද සඳහන් කළේය. ඒ තුළින් ඔහුගේ කීර්තිනාමයට හානියක් සිදු වූ බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.



එම ප්‍රකාශය වගඋත්තරකාර මාධ්‍ය ආයතනය මගින් එදින රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය මගින් ප්‍රචාරයට පත් කෙරුණු බව පෙන්වා දුන් ‍ නීතිඥවරයා ඒ තුළින් තම සේවාදායකයාට දැඩි අපහාසයක් මෙන්ම අගතියක් සිදු වූ බවද සඳහන් කළේය.

කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර ස්ථිර අතුරු තහනම් නියෝගය පිළිබඳ විභාගයට අදාළ නොතිසි ද වගඋත්තරකරුවන් වෙත නිකුත් කිරීමට නියෝග කළේය.