සාක්ෂරතාව අඩු (අකුරු ලිවීමේ කියවීමේ අපහසුතා ඇති) පිරිස් වෙනුවෙන් රියදුරු බලපත්ර ලබා ගැනීමේදී ලබා දී තිබූ වාචික පරික්ෂණ නවතා දැමීම හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවට පත්වී තිබේ. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මගින් සාක්ෂරතාව ඇති පිරිස් වෙත ලිඛිත පරික්ෂණය පැවැත්වීම සිදු වන අතර එසේ හැකියාව නොමැති පිරිස් වෙත මෙම වාචික පරීක්ෂණය වසර ගණනාවක සිට පවත්වාගෙන යෑම සිදුව තිබූ අතර එය හදිසියේ නවතා දැමීම්මට කටයුතු කර ඇති බව කියයි. එහිදී අකුරු ලිවීමේ හා කියවීමේ ගැටලු සහිත පිරිස් වෙත රියැදුරු බලපත්ර ලබා ගැනීමට සහනයක් වූ බව පැවසේ.
එම සහනයත් සමග රට පුරා විශාල පිරිසක් මාර්ගවල වාහන ධාවනය කිරීමටත් වරම් හිමිව තිබිණි. වාචික පරීක්ෂණයට ඉදිරිපත් වන පිරිස් දැඩි කොන්දේසි මත විභාගයට පෙනී සිටිය යුතුව තිබූ අතර එහිදී අවස්ථා දෙකකදී වාවික පරික්ෂණ වලදී අසමත් වීම අනිවාර්ය බවත් තුන්වැනි අවස්ථාවේදී නිසි ලකුණු මට්ටම ලබා ගැනීමෙන් පසුව සමත් කිරීම සිදු වන බව කියයි. මෙම වාචික පරික්ෂණයට බහුතරයක් සහභාගි වී ඇත්තේ යාපනය, පුත්තලම, පොළොන්නරුව, මඩකලපුව ඇතුළු දිස්ත්රික්ක වල අයදුම්කරුවන් බව කියයි. එසේ අයදුම් කරන පිරිස් අතරින් බහුතරයක් ගොවිතැනින් ජීවිකාව කරගෙන යන පිරිස් හා ධීවරයන් බවද කියති.
කෙසේ වෙතත් දශක ගණනාවක සිට පවත්වාගෙන ආ මෙම වාචික පරික්ෂණය හදිසියේ නවතා දැමීමත් වාචික පරික්ෂණියට පෙනී සිටීමට අයදුම්කරු සිටි විශාල පිරිසක් මේ වන විට අසරණ වී ඇති බව පැවසේ. මේ පිළිබඳ මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම මෙසේ පවසා සිටියේය.
"ඇත්තටම මේ වාචික පරික්ෂණය නවතා දැමීම නිසා පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව ඇත්ත. නමුත් මේ වාචික පරික්ෂණයට පෙනී සිටින පිරිස් මුවාවෙන් බරපතළ ජාවාරමක් සිදුව තිබෙනවා. අනික තමා මෝටර් රථ පනතේ වාචික පරීක්ෂණයක් තිබී නැහැ.
ලිඛිත පරීක්ෂණය පමණයි තිබී ඇත්තේ. ඒ නිසා මේ වාවික පරික්ෂණය තාවකාලිකව නවතා දැමුවා නමුත් මේ පිළිබද සොයා බලන්න රියදුරු බලපත්ර මෝටර් රථ කොමසාරිස්වරයාගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර තිබෙනවා සොයා බලා වාර්තාවක් ලබා ගන්න. ඒ අනුව අපි ඉදිරියේදී මෙම වාචික පරික්ෂණ නැවත අරඹන්න කටයුතු කරනවා. නමුත් ඒ සදහා දිනවකවානු දැන්ම කියන්න හැකියාවක් නැහැ."
- හිරාන් ප්රියංකර ජයසිංහ-
0 Comments