කොවිඩ් 19 වෛරස පාලනය කිරීම සඳහා රුසියාවෙන් ස්පුට්නික් එන්නත් මිලියන 7ක් මෙරටට ගෙන්වීමට
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දින සවස රැස්වූ කැබිනට් මණ්ඩල
රැස්වීමේදී අනුමැතිය හිමිවිය.



මෙම එන්නත් තොගය ගෙන්වීම සඳහා රුපියල් මිලියන 69ක් රජය විසින් වෙන් කර ඇති අතර මෙම සියලුම
එන්නත් නොමිලේ ජනතාවට ලබාදීමට නියමිතය.

මීට අදාළ යොජනාව කැබිනට් මණ්ලයට ඉදිරිපත් කරන ලද්දේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි
මහත්මිය විසිනි.

වී අලෙවි මණ්ඩලයෙන් සහතික මිලට ගොවි මහතුන්ගෙන් ලබාගත් වී තොග සහල් කර සතොසට සහල් කිලෝ 1ක්
රුපියල් 94කට ලබාදීමට සතොස මඟින් එම සහල් කිලෝ 1ක් රුපියල් 97කට පාරිභෝගිකයාට අලෙවි කිරීමටත්
අදාළ යෝජනාවටද ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්
කරන ලද්දේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.



ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අළුත් පනතක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින කැබිනට් මණ්ඩලයට ඊයේ දින ඉදිරිපත් කළ අතර එය අධ්‍යයනය
කිරීම සඳහා අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සතියක කාලයක් ඉල්ලා ඇත. ඒ අනුව එම නව පනත අධ්‍යයනය
කිරීමෙන් අනතුරුව මීළඟ කැබිනට් මණ්ඩලය රැස්වීමට අමාත්‍යවරුන් අදහස් ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී
කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි.