ruwan-perera-speaks

මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකින්ම දකින රුවන් පෙරේරා තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පියෙකි. ස්වර්ණවාහිනියේ විකාශය වූ කෝටිපතියා හා හාරකෝටිය ටෙලි නාට්‍යවල ඩිංකා ලෙස අදටද බොහෝ පිරිසක් අතර ජනප්‍රිය ඔහු, ඉදිරියේදී දේශීය සිනමාව හරහාද ප්‍රේක්ෂක ඔබට දක්නට ලැබේ.

 


රුවන්ව මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකින්ම අපි දකිනවා?

 ඔව්, මේ දිනවල විකාශය වන 'සඳ තරු මල්", "තාදි' හා 'අහස් මාලිගා' ටෙලි නාට්‍යවල මාව දකින්න පුළුවන්. ඊට අමතරව සියත රූපවාහිනී නාළිකාවේ මේ දිනවල විකාශය වෙන 'එන්කවුන්ටර්" ටෙලි නාට්‍යයෙත් මම රගපානවා. එහි මම පෙනී ඉන්නේ මැරයෙක්ට. පළමු වතාවට තමයි ටෙලි නිර්මාණයක මම මැරයෙකුගේ චරිතයක් නිරූපණය කරන්නේ. ඒ එක්කම ගයනා සුදර්ශනී අක්කා හා සුදත්ත තිලකසිරි අයියා කරන අලුත් ටෙලි නාට්‍ය දෙකකටත් මේ දිනවල සම්බන්ධ වෙලා වැඩ කරනවා.



කාලෙකින් ඔබ සිනමාව තුළ දැක්කේ නැහැ?


ජැක්සන් ඇන්තනී මහත්මයාගේ 'එක ගෙයි සොකරි' චිත්‍රපටයේ මම රගපානවා. එහි මම පොඩි හාමුදුරුනමක් විදිහට තමයි රගපාන්නේ. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න තිබුනේ ගිය වසරේ. නමුත්, 'කෝවිඩ්” වසංගතයත් සමග ඇතිවෙච්ච අර්බුද හේතුවෙන් මෙය ප්‍රදර්ශනය වීම දින නියමයක් නොමැතිව කල් ගිහින් තියෙනවා. මම හිතනවා බොහෝ විට  "එක ගෙයි සොකරි" මේ   වසරේදී ප්‍රදර්ශනය වේවි කියලා. ඊට අමතරව මේ දිනවල සුනිල් ආරියරත්න මහත්මයාගේ අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න සූදානමින් ඉන්නවා.


තවමත් "ඩිංකා" කියන චරිතය මිනිස්සුන්ගේ මතකයෙන් ඈත්වෙලා නැහැ නේද?

මටත් පුදුමයි. 'හාරකෝටිය” හා "කෝටිපතියෝ” කියන  ටෙලි නාට්‍ය විකාශය වෙලා දැන් කාලයක්  වෙනවා. නමුත්, මිනිසුන්ගේ මතකයේ තාම 'ඩිංකා’  ඉන්නවා. මේ ටෙලි නාට්‍ය දෙකෙන් පස්සේ මම ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක විවිධ චරිත  රගපෑවා. වර්තමානයේ මාව ටෙලි  නිර්මාණ හතරකින් ප්‍රේක්ෂකයෝ දකිනවා. ඒත්, මිනිස්සු තාමත් කැමති මම රගපෑ 'ඩිංකා' කියන චරිතයට.


රුවන් ඔබ දැන් ජනප්‍රිය ලැයිස්තුවේ නැද්ද?

කොහොමත් ඔය ලැයිස්තුවේ ඉන්න බහුතරයක් දෙනා ජනප්‍රිය අය නෙවෙයි. මනාප 30ක් 40ක් තිබුණත් ඔය ජනප්‍රිය ලැයිස්තුවට එන්න පුළුවන්. නමුත්, එහෙම අවශ්‍යතාවයක් මට නැහැ.  මම කාලයක් ජනප්‍රිය ලැයිස්තුවේ හිටියා. ජනප්‍රිය සම්මානත් දිනාගත්තා. ඒත්, අද තත්වය වෙනස්. ඔය ලැයිස්තුවලට වඩා පාර තොටදී හමුවෙල කතා කරන ප්‍රේක්ෂකයෝ ටික මට  ගොඩක් වැදගත්.


කාලෙකින් ඔබට සම්මානයක් ලැබුණේ නැහැ. ඒකට හේතුව මොකක්ද? සම්මාන ගන්න තරම් මහන්සි වෙලා වැඩක් කරන්න මට කාලෙකින් හම්බ වුණේ නැහැ. අද ගොඩක් තියෙන්නේ අඩු මුදලට නිර්මාණය වෙන ටෙලි නාට්‍ය. ඒ නිර්මාණ තුළින් ගුණාත්මක රසවින්දයක්   ප්‍රේක්ෂකයන්ට දෙන්න අමාරුයි. ඒ වගේම සමාජයට යම් පණිවුඩයක් දෙන හරවත් වැඩදායී නිර්මාණ අද බිහිවෙන්නේ නැහැ. හොදම උදාහරණය තමයි අද නිර්මාණ කරන්නේ සල්ලි බලාගෙන. වියදම් මුදල අඩු කරගන්න එක දවසට කොටස් බොහෝමයක් අද රූපගත කරනවා. එහෙම නිර්මාණ පැවැත්මක් නැහැ. හොද නිර්මාණයක් කියන්නේ නගරයෙන් ගමට ගිහිල්ලා මාස ගණන් ඒ නිර්මාණය සමගම ගත කරලා, අද වියදම් කරනවාට වඩා මුදලක් ඒ වෙනුවෙන් යොදලා කරන නිර්මාණාවලට. අන්න ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්නෙ පුළුවන් නම් අපිට වුණත් සම්මානයකට තරග කරන්න පුළුවන්.




ඒ කියන්නේ රුවන්ට ඒ වගේ හොඳ නිර්මාණයකට මෑතකදී එකතු වෙන්න බැරි වුණා කියන එකද?

 මට කරන්න මේ වගේ චරිතයක් දෙන්න කියලා කියන්න මට බැහැනේ. සමහරක් විට අපිව එකම රාමුවකට කොටු කරලා තියනවා කියලත් හිතන්න පුළුවන්. නමුත්, මතකදී මම ඇගට දැනෙන චරිතයක් කළා. දෙරණ නාළිකාවේ විකාශය වු 'පත්තිනි' කියන ටෙලි  සිනමා නිර්මාණයේ. ඒ නිර්මාණය තිර රචනා කරලා, අධ්‍යක්ෂණය කළේ දිලුක ගුණතිලක අයියා. මම කළේ එහි 'හේමන්ත' කියන ප්‍රධාන චරිතය. ගොඩක් ඉහළ රසික ප්‍රතිචාර ඒ චරිතයට ලැබුණා. බොහෝ දෙනෙක් ඒ ටෙලි නාට්‍යයේ මා කළ චරිතයට සංවේදී වුණා. කොටින්ම ඒක බලලා මගේ ඥාති වෙන මල්ලි කෙනක් පවා ඇඬුවා. ඒ තරමට එහි මා කළ චරිතය සංවේදී එකක් වුණා.

- බුද්ධික ස්වාධීර-

ruwan-perera-speaks

ruwan-perera-speaks