sajin-vass

'මිහින් ලංකා' ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින්  රජයට රුපියල් මිලියන
අටසිය අසූතුනක පාඩුවක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස්
ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව එම නඩුවේ පවතින තාක්ෂණික ‍ෙදා්ෂ හේතුවෙන් ඉල්ලා
අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම ඊයේ (15දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල
මහතා හමුවේ දැනුම් දුන්නේය.



ඒ අනුව මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීම මත සැකකරු සියලු චෝදනාවලින් නිදහස්
කරන බවට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව ගොනු කිරීමේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා විසින්ම අස්සන් කර
නොමැති බවත් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පවතින තාක්ෂණික ‍ෙදා්ෂයන් හේතුවෙන්
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 189 වගන්ති ප්‍රකාරව නඩුව ඉල්ලා අස්කර ගන්නා බවත් සඳහන් කරමින්
අල්ලස් කොමිසමේ  සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියාය.



ඊයේ දින මෝසමක් මඟින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය හා උප
පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

'මිහින් ලංකා' ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් එම සමාගමට ආම්පන්න
මිලදී ගනිමින් රුපියල් මිලියන අටසිය අසූතුනක මුදලක් රජයට පාඩු කිරීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම්
ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පසුගිය ආණ්ඩු සමයේ හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

හංසි නානායක්කාර